
කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණ සිටි පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය බැටන් ප්‍රහාරයක් එල්ලකිරීමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාව ගාල්ලට මාරුකර යවා තිබේ.
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේදී ඉකුත් 01 වෙනිදා එම පොලිස් පහරදීම සිදුවිය. එන්නත් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණි පිරිස පොලිම්වල රැදී සිටියදී එන්නත් අවසන් බව දැනුම් දුන්නද ජනතාව දිගින් දිගටම එන්නත් බලාපොරොත්තුවෙන් එම ස්ථානයේ කෑකෝ ගසමින් රැදී සිටීම හේතුවෙන් පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බව සදහන්ය.
එම පහරදීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය. එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කරනු ලැබුවේ එම පහරදීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතාගේ උපදෙසින් මේ වන විටත් විමර්ශනයක් පැවැත්වෙන බවය.
පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන්නේ වැලිගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව ගාල්ලට මාරුකර ඇත්තේ එම විමර්ශනයට අනුව බවය. ජනතාවට බැටන් පහර එල්ලකරන්නේ ස්ථානාධිපතිවරයා බව එම විමර්ශනයේදී හදුනාගෙන තිබේ. මාතර සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශනය පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.