
ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියට සහභාගිවී ජයග්‍රාහන අත්කර දෙමින් රටට කීර්තියක් ගෙන දුන් ක්‍රීඩකයන් දෙදෙනාට ක්‍රීඩා අමාත්‍යාංශය යෝජනා කළ මූල්‍ය ත්‍යාග ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වේ.
"2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා ද, F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු මහතා ද සමත් වී ඇති අතර, එමඟින් ඔවුන් මව්බිමට සුවිශේෂී ජයග්‍රහණ හිමිකර දී ඇත. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ විධිවිධාන අනුව ස්ථාපිත කර ඇති ජාතික ක්‍රීඩා සභාව විසින් පිළිගත් ජාත්‍යන්තර ක්‍රීඩා තරග ජයග්‍රහණ සඳහා මූල්‍ය ත්‍යාග පිරිනැමීම පිණිස වන නිර්ණායකයන් සහ හිමි විය යුතු ත්‍යාග මුදල් නිර්දේශ කර ඇත. ඒ අනුව, ඉහත ජයග්‍රහණ ලබා දුන් ක්‍රීඩකයින් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනාට ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ පරිදි මූල්‍ය ත්‍යාග පිරිනැමීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී."
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රකාශකර ඇති ආකාරයට අනුව දිනේෂ් ප්‍රියන්ත මහතාට රුපියල් කෝටි 05 ක ත්‍යාග මුදලක් සහ දුලාන් කොඩිතුවක්කු මහතාට රුපියල් කෝටි 02 ක ත්‍යාග මුදලක් ලබාදීමට නිර්දේශ වී තිබේ. ඊට අමතරව මෙම ක්‍රීඩකයන්ගේ පුහුණුකරුන්ට මෙම ත්‍යාග මුදල්වලින් සියයට 25 ක ත්‍යාග මුදලක් ලබාදීමට තීරණය විය.