තරුණ තරුණියන්ට ආදරය කරන්න, විනෝද වෙන්න, පෞද්ගලිකව කාලය ගතකරන්න ඉඩ කඩ , ස්ථාන තියෙන ප්‍රමාණය අනුව රටවල් වර්ගීකරණය කරන දර්ශකයක් තියේද කියල මම ඉන්ටර්නෙට් එකේ බැලුවා. අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් විතරම තරුණයි. ගෝල් ෆේස් එකේ කට්ට අවුවේ කුඩා අස්සේ, විහාරමහාදේවී පාක් එකේ සිකුරිටිලාට පදිරි වෙවී ගස් අස්සේ, ඉන්ටර්සිටි බස් වල අන්තිම සීට් එකේ, ෆිල්ම් හොල්වල බොක්ස් එකේ, හැම නගරෙකම වැව් බන්ට් ලග තියෙන කොන්ක්‍රීට් බංකු උඩ ඉන්නේ ඒ කෙල්ලෝ කොල්ලන්ගෙන් බහුතරයක් තමා. ඊටත් වඩා යමක් කමක් කරන්න පුළුවන් එවුන් රූම් වලට යනවා. ඇති හැකි අයට කොලබ කොෆී ෂොප් තියනවා.
කොරෝනා වලට කලින් අනිවාර්යයෙන්ම සතියකට සැරයක් පත්තර වල තියෙනවා ‘පෙම්වතුන් යුවල් 24ක් අත් අඩංගුවට’ වගේ නිවුස් එකක්. ඉදල හිටලා බයික් වල යන කපල් පවා නවත්වලා අයිඩන්ටිය අහනවා. ලව් කරන එක , සෙක්ස් කරන එක සාපරාධී ක්‍රියාවක් කියල හිතෙන තරමට, පාක් වල ඉන්න සිකුරිටි කාරයෝ සිට බස් වල ඉන්න කොන්දලා දක්වා හැම එකාම මේ රටේ ලව් කරන එවුන්ට හිංසා කරනවා. කැම්පස් වල ලව් කරන්නම වෙන් කරපු පැත්තක් තියෙන නිසා කට්ට කාල කැම්පස්ම ගියොත් මිසක් නැත්තන් ලංකාවේ ලව් කරනවා කියන්නේ බැංකුවක් කඩනවා වගේ අමාරු වැඩක්.
ඒ අස්සේම තමා අපේ සමාජය, අපේ සමාජයටම චෝදනා කරගන්නේ, බස් වල යන කාන්තාවන්ගෙන් සීයට හැත්තෑ පහක් විතර අතවරයට ලක්වෙලා තියෙනවා, පාරෙ යද්දී කොල්ලෝ කුණුහරප කියනවා, කාන්තාවන්ට ඔෆිස් වල අනන්ත ලිංගික බලපෑම් තියෙනවා, තරහවුනාම කෙල්ලගේ ෆොටෝ හැමතැනම ශෙයා කරනවා වගේ දේවල් බහුලයි කියලා. අවුරුදු 18 දී ලංකාවේ තරුණයන්ට එයාලා කිසිම සුදානමක් නැති වගකීම් තුනක් අපි දෙනවා. එකක් තමා අවුරුදු 18න් පස්සේ ලිංගිකව හැසිරෙන්න පුළුවන් කියන එක. සත පහක ලිංගික අධ්‍යාපනයක් නොලබපු සෙට් එකක් එක පාරම සෙක්ස් කරන්න රූම් වලට යවනවා. දෙවැනි එක තමා චන්ද බලය. අවුරුදු 12ක් ටියුෂන් ගිහින් රට ලෝකේ වෙන කිසිම දෙයක් ගැන මෙලෝ අවබෝධයක් නැති සෙට් එකකට එකපාරම අවුරුදු 18 දී කියනවා ඔබේ චන්ද බලයෙන් රට වෙනස් කරන්න කියල. තුන්වෙනි එක තමා මුල්‍ය බලය. ලංකාවේ කිසිම තැනක දරුවෙකුට උගන්වන්නේ නෑ අඩුම ගානේ නිවැරදිව බැංකු ගිණුමක්වත් විවෘත කරන විදිය. ඒ නිසා තමා සක්විතිලගේ ඉදන් පිරමීඩ දක්වා දහස් ගණන් මුල්‍ය වංචා වලට මුළු රටම අහුවෙලා ඉන්නේ.
මේ රටේ තරුණ කැරලි තුනක් ඇතිවුනා දශක තුනක් ඇතුලත. ලෝකයේ කිසිම රටක එහෙම වෙලා නෑ. ආර්ථික සමාජ සහ දේශපාලන ආතතිය ඇතුලේ නිදහසේ ආදරය කරන්න නොහැකිවීමේ ආතතියකුත් තියෙන්න ඇති. ලංකාව සර්වජන චන්දබලය තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ රටේ පොලීසිය ක්‍රියාත්මක කරවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන නීතිමය ප්‍රතිපාදන. ලිංගිකව හැසිරීම වැඩිහිටියන්ගේ නිදහසක් නම්, එසේ හැසිරුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් නොකළ තැනකනම්, ඒ ගැන පොදු සමාජයට අප්සට් එකක් නැත්නම්, එතනින් එහාට ඒ සදහා රාජ්‍ය මැදිහත් වියයුතුද යන්න මගේ ප්‍රශ්නයයි. වැඩිහිටියන් සදහා වෙන්වූ චිත්‍රපටි ලංකාවේ තහනම් නැත්නම්, වීඩියෝ එක නිදහස් වීමෙන් තමාට අගතියක් වූ බවට ඒ යුවල පොලීසි ගියෙත් නැත්නම්, ලෝකයේ වැඩියෙන්ම සෙක්ස් සර්ච් කරන රට විදියට අපි කොහොමත් ජාත්‍යන්තරේ ඉන්නවනම්, යුවලක් ගගක් ලග ලිංගිකව හැසිරීමට විරුද්ධව රාජ්‍යට මැදිහත් විය හැකිද?
අපි තරුණ සේවා සභාවේ ඉදිද්දී 2014 අවුරුද්දේ මුල පිරුවා මාතර තරුණ උද්‍යානයක් හදන්න. ආදර්ශ තරුණ උද්‍යානයක්. කොල්ලන්ට කෙල්ලන්ට ඇවිත් කාල බීල සෙල්ලම් කරලා ලව් කරලා කතාබහ කරලා යන්න පුළුවන් තැනක්. චන්දෙ පැරදුන නිසා ඒක නැවතුනා. අලුත් ආණ්ඩුවෙන් නාමල් ඇමතිතුමා ආයෙත් පටන් ගනිද්දිම කොරෝනා ආවා. තරුණයන්ට ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න, දේශපාලනිකව හැප්පෙන්න, මියුසිකල් ෂෝ වල නටන්න, අඩියක් පුඩියක් ගහන්න, පිළිවෙලක් තියෙන රස්සාවක් කරන්න වගේම ගෞරවාන්විතව ආදරය කරන්නත් ඉඩක් කඩක් පහසුකමක් තියෙන්න ඕනා. ඒක බේසික් රයිට් එකක්.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ ප්‍රධානම බලාපොරොත්තුවක් තමා ‘නිදහස්’ ජිවිතයක් ගතකිරීමේ අයිතිය නැවත ලබාගැනීම. කුඩුකාරයෝ නැති, පාතාලේ එවුන් කප්පම් ඉල්ලන්නේ නැති, කන්න බොන්න ගියාම එක එකා වලි දාගන්නේ නැති, හන්ඳි පාලනය කරන චන්ඩි නැති, බෝම්බ තුවක්කු පත්තුවෙන්නේ නැති රටක්, සමාජයක් හදාගන්න එක. ගෝඨා හදපු මන්තිරු, පාක් ටිකේ තමා යාන්තම් හරි ලව් කරන කොල්ලෝ කෙල්ලෝ ටික තාම එල්ලිලා ඉන්නේ. ඒ නිදහස් සමාජයේ වැඩිහිටියෝ තමන්ගේ පෞද්ගලික ෆෝන් එකෙන් වැඩිහිටියන්ට පමණයි දර්ශන බලන එක, තමන් කැමති තැන් වල කාටවත් කරදරයක් නොවී ලව් කරන එක ගැන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැදිහත්වෙන්න ඕනද?
මගේ කොරෝනා ඩයරිය පොතේ පිළිගැන්වීමට මම ලීවා ‘ සෝෂලි ඩිස්ටන්ට් වුනාට මනුස්සකම් ලං කරමු’ කියලා. අපේ ජිවිතේ කාලයේ අන් කවරදාටවත් වඩා බලහත්කාරයෙන් , ලං වීම, සිප වලද ගැනීම, තුරුල් වීම, ආදරෙන් තනිවීම අපෙන් ඈත්කරවල තියෙනවා. බදාගැනීම නීතිමය වරදක් වගෙයි. මුලු මහත් පරම්පරාවක්ම මානසික ආතතියේ ගබුරුම තැනට තල්ලු කරලා. ඒක පිපුරුවොත් පහන්තුඩාවේ ප්‍රකාශනයට වඩා අතිශයින්ම වේදනාකාරී වේවී.
ඒ නිසා මේ මොහොතේවත් ආදරය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරස් නොකරමු.
මිලින්ද රාජපක්ෂ
04/09/2021