තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඔක්සිජන් රැගෙන ඉන්දියාවේ සිට ශක්ති ලා එති

    ඔක්සිජන් රැගෙන ඉන්දියාවේ සිට ශක්ති ලා එති

    කොවිඩ් 19 වෛරස ආසාදිත රෝගීන්ගේ අවශ්‍යතා සදහා ඉන්දියාවෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් ටොන් 100 ක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද සවස කොළඹ වරායට සේන්දු වී තිබේ.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතාගෙන් සෘජුවම සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද මෙම සායනික ඔක්සිජන් රැගෙන ඉන්දියාවේ විශාකපට්නම් වරායෙන් 2021 අගෝස්තු මස 19 වන දින ශ්‍රී ලංකාව බලා මෙම නෞකාව පිටත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ය.

    ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ.

    කොවිඩ් 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය නාවික හමුදාව මගින් සිදු කරන ලෙසට අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති වෙත උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව එම ක්‍රියාවලිය වඩාත් කාර්යක්‍ෂමව ඉටු කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතාගෙන් සෘජුවම කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව මෙරටට සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්විය.

    ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යොදාගනුලබන මෙම ශක්ති නෞකාව දිගින් මීටර් 175 ක් සහ නාවික පුද්ගලයන් 158 දෙනෙකුගෙන් යුත් නැව්මුළුවකින් සමන්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ඒබීවයි මැතිව් (ABY MATHEW) කටයුතු කරනු ලබයි. අද දින (2021 අගෝස්තු මස 22) කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කරන ලද අතර, මෙම නෞකාවෙන් රැගෙන ආ සායනික ඔක්සිජන් අඩංගු බහාළුම් පහ (5) ගොඩබෑමෙන් පසු හිස් බහාළුම් ද රැගෙන 2021 අගෝස්තු 23 දින නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    තවද, 2021 අගෝස්තු 23 උදෑසන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දියානු නාවික හමුදා ශක්ති නෞකාව යාබදව නවතා ඇති කොළඹ වරාය පරිශ්‍රයේ වු සමගි බහාළුම් පර්යන්තයේ නිරික්‍ෂණ චාර්කාවාරයක නිරත වීමට නියමිත අතර, එහිදී එම නෞකාවේ නැව් මුළුව හමුවී ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් සිදු කරන ලද ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින්, සායනික ඔක්සිජන් තොග මෙරටට කඩිනමින් රැගෙන ඒම සදහා ඉන්දියානු නාවික හමුදාවෙන් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාව වෙත සිය කෘතඥතාවය ඵලකිරීමට ද නියමිතව ඇත.

    එමෙන්ම, පසුගිය අගෝස්තු මස 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත සායනික ඔක්සිජන් රැගෙන ඒම සදහා පිටත්ව ගිය ශ්‍රිලංකා නාවික නෞකා ශක්ති නෞකාව අගෝස්තු 18 දින ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම ඔක්සිජන් තොගය ලබා ගැනීමෙන් පසු නැවත 2021 අගෝස්තු මස 20 වන දින ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ඇරඹිය. ඒ අනුව සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන අද (2021 අගෝස්තු 22) මධ්‍යම රාත්‍රියේ දී එම නෞකාව කොළඹ වරායට සේන්දු වීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදාව කාලාපීය රාජ්‍යන්ගේ නාවික හමුදා සමඟ පවත්වනු ලබන සුහදශීලී අන්‍යෝන්‍ය සහයෝගීතාව උපයෝගී කරගනිමින් රට තුළ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී කලාපීය නාවික හමුදාවන්ගේ සහයෝගය ලබා ගනිමින් හා ශ්‍රිලංකා නාවික හමුදාව සතු සියළු සම්පත් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුක්තව යොදා ගනිමින් මාතෘ භූමිය වෙත අවශ්‍ය සේවය උපරිමයෙන් ලබා දීමට නිරතුරුව ඇප කැපව සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img