මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් තමාට ජීවිත තර්ජනයක් කළේ යැයි බන්ධනාගාර වෛද්‍යවරයෙක් විසින් බොරැල්ල පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණයක් අද ආරම්භකර තිබේ.
ඉකුත් 15 වෙනිදා සිදුවූ බව කියන එම තර්ජනය ගැන පැමිණිල්ල බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී ඇත්තේ ඊයේ (20) ය.
රිෂාඩ් බදියුදීන් නැමැති රැදවියා තමාට කළ තර්ජනය ගැන ඒ අවස්ථාවේදීම ඉහළ බන්ධනාගාර නිලධාරීන්ට තමා දැනුම් දුන් බවද වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත.
බන්ධනාගාර වෛද්‍ය මධ්‍යස්ථානයේ තමා රැදවියන්ට ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී රැදවියෙක් එකවරම ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණි බවත් ඔහුට එළියට වී සිටින ලෙස දැනුම්දීම තර්ජනයට මුල්වූ බවත් වෛද්‍යවරයා බොරැල්ල පොලීසිය හමුවේ පවසා තිබේ. එම රැදවියා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා බව තමා ඒ අවස්ථාවේදී හදුනානොගත් බවත් පසුව ඔහු කළ තර්ජනයත් සමග ඒ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා බව හදුනාගත් බවත් වෛද්‍යවරයා පොලීසියට පවසා තිබේ.
මෙසේ රිෂාඩ් බදියුදීන් මහතා විසින් තර්ජනය කළේ යැයි පැමිණිලි කර ඇත්තේ නව මැගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ප්‍රියංග ඉඳුනිල් පුපුලේවත්ත මහතාටය.
“තමුසේ දන්නේ නැද්ද මම මෙතැනට ආවේ මොනවා කරල ද කියලා. ඒ වගේම තමයි මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්, පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි. ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක්, ළමයින්ට තාත්තා කෙනෙක් තමයි නැති වෙන්නේ. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්” යැයි සඳහන් කරමින් සැකකාර රිෂාඩ් බදියුදීන් තමාට බැණ තර්ජනය කළ බවට වෛද්‍යවරයා පොලීසියට සදහන් කර ඇත.
“ඔයා මහා ලොකු දොස්තර කෙනෙක් ද මට මෙහෙම කතා කරන්නේ. තමුන්ට වඩා ලොකු දොස්තරලා මම මෙහේ අඳුරනවා. මාව පරීක්ෂා කරන්න එන මගේ යාළු දොස්තරලා, බන්ධනාගාර නිලධාරීනුත් ඉවත් කරලා තමයි මට කතා කරන්නේ. ඒගොල්ලෝ මගෙන් අහනවා මට මොනවා ද ඕනෑ, නීතියට පිටින් හරි ඕනෑ උදව්වක් කරන්නම් කියලා. උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්. මගේ වැඩ කරගන්න තමුසේ ඕනෑ නැහැ.” යනුවෙන්ද ඔහු තමාට ඔහු බැන වැදුණු බව ද වෛද්‍යවරයා පොලීසියට සදහන් කර තිබේ.
“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතැනින් පලයන් ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්” යනුවෙන් ද කියමින් තමාට තර්ජනාත්මකව හා අපහාසාත්මකව බැණ වදිමින් ආවේගශීලීව හැසිරුණු මෙම තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව තමන් දැන නොසිටි බව ද වෛද්‍යවරයා වසදහන් කළ බව පොලීසිය කියයි.
මෙම තර්ජනය සිදුවන අවස්ථාවේදී රැඳවියෙක් සහ බන්ධනාගාර නිලධාරියෙක් එම ස්ථානයේ සිටි බවත් තමාට ඒ සිටියේ කවුරුන්දැයි හරිහැටි මතකයේ නොමැති බවද වෛද්‍යවරයා පොලීසියට පවසා තිබේ.
හයියෝ සංසාරේ!