තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඇඳිරි නීතිය පවතින දිනකදී රටට අහිමි වන ආදායම බිලියන 15ක්"

    “ඇඳිරි නීතිය පවතින දිනකදී රටට අහිමි වන ආදායම බිලියන 15ක්”

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දවසකදී රටට අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ඒ මහතා මේ අදහස් පලකළේ “නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු රටේ හෙට දවස” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධාන කළ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    මේ ව්‍යසනකාරී සමයේ නිවැරදි ආර්ථික කළමණාකරනය සඳහා සාර්ව ආර්ථික සාධක සැලකිල්ලට ගතයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දුන්නේය. රට වැසූ විට ආර්ථික ක්‍රියාකාරිත්වය පහත බසී. එවිට දළ ජාතික නිෂ්පාදනය අඩුවෙයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක්
    පමණ වන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    “අපේ රටේ ශ්‍රම බලකාය 80 ලක්ෂයක්. ඔවුන්ගෙන් 15 ලක්ෂයක් පමණ රජයේ සේවකයන්. ඔවුනට මාසික ආදායමක් ලැබෙනවා. ඉතිරි පිරිස විවිධ සුළු ව්‍යාපාර , වෙළෙඳාම්, ඉදිකිරීම් වැඩ ආදී කාර්යයන්හි නිරත වෙමින් ආදායම් උපයන අය. මිනිස් ජීවිත වැදගත්. එසේම ජීවනෝපායත් ඒ තරමට වැදගත්. ජීවිත හා ජීවනෝපාය දෙකම රැක ගැනීමට ආර්ථිකය ආරක්ෂාකර ගැනීම ප්‍රමුඛතාවක්.” යැයි පැවසූ රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මේ ආපදා සමයේ අවශ්‍ය කැප කිරීම් කරන්නට සියලුදෙනා සුදානම් විය යුතු බවත් ආර්ථිකය අවුල් කිරීමට උදව් නොකළයුතු බවත් අවධාරණය කළේය.

    “අද අපේ රටත් ලෝකයත් ගොදුරු වී ඇත්තේ බොහෝ කලෙකින් නොදුටු මහා ව්‍යසනයකට. එක් අතකින් කොරෝනා වසංගතය. අනෙක් අතින් ඒ නිසා ඇතිවූ ආර්ථික බිඳ වැටීම. නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය යන ප්‍රධාන ආර්ථික ක්‍රියා තුනම අඩාල වෙලා. එබඳු මොහොතක නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම රජයට ගැනීමට සිදුවූ දුෂ්කරම තීරණයක්. මේ ව්‍යසනය ජයගැනීමට අප සියලුදෙනා එක්ව වැඩ කළ යුතුයි.” වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

    “අපට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් අපි නිෂ්පාදනය කරන්නේ නෑ. ඛනිජතෙල්, ගෑස්, බෝහෝ ඖෂධ වර්ග ඉන් සමහරක්. අප රටතුල නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ ඉල්ලුමට ප්‍රමාණවත් නෑ. අල, ළුෑණු, මිරිස් ඊට නිදසුන්. මේ භාණ්ඩ ආනයනයට අප ඩොලර් උපයා ගත යුතුයි. එය කළ හැක්කේ අපනයන ආදායම වැඩි කිරීමෙන් මිස උද්ඝෝෂණ කිරීමෙන් හෝ පෙළපාලි යාමෙන් හෝ නොවේ” වෙළෙඳ ඇමතිවරයා පෙන්වා දුන්නේය. පසුගිය කාලයේ අනුගමනය කළ වැරුදි ආර්ථික පිළිවෙත් නිසා දේශීය ආර්ථිකය පරිහානියට ගිය බව සඳහන් කළ ගුණවර්ධන මහතා ආනයන සඳහා අවශ්‍ය විනිමය ආදායම් උපයන සංචාරක ව්‍යාපාරය, ඇඟළුම් කර්මාන්තය, විදේශ රැකියා බරපතල ලෙස අඩාලවීමෙන් විනිමය සංචිත ගැටලුවක්ද නිර්මාණය වී ඇතැයි පැවසීය.

    මෙබඳු දුෂ්කරතා මැද වුවද ආර්ථිකය පවත්වා ගැනීමටත් ජන ජීවිතය සුරැකීමටත් රජය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටී. ඇඳිරිනීති සමය තුල රුපියල් 2600 ක වෙළෙඳ පොල අගයක් සහිත භාණ්ඩ මල්ලක් රු.1998ට ඉල්ලුම් කරන අයට සපයනු ලැබේ.

    ශ්‍රී ලංකාව ආනයන හා අපනයන පදනම් කොටගත් ආර්ථිකයක් සහිත රටක් බවත් ජනතාවගේ පැවැත්ම හා අභිවෘද්ධිය සඳහා එය රැකගැනීම අත්‍යාවශ්‍ය බවත් සඳහන් කරන අමාත්‍යවරයා ආර්ථිකය අවුල් කරන කිසිදු ක්‍රියාවකට හවුල් නොවන්නැයි ජනතාවට ආයාචනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img