සිය පුත්‍රයාගේ විවාහය හේතුවෙන් රජය විසින් සංචරණ සීමා පැනවීම ප්‍රමාද කරන බවට සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සිය පුතුන් දෙදෙනා 2015 සහ 2016 වර්ෂවලදී විවාහ වී ඇති බවත් ඔවුන්ට නැවත විවාහ වීමේ කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
රජයේ වැඩපිලිවල දරාගත නොහැකිව රජයට සහ රජයට සම්බන්ධ අය ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක කල්ලි විසින් සිදු කරනු ලබන මේ මඩ ප්‍රහාර, විපක්ෂයේ ප්‍රබලයින්ගේ වට්ස්ඇප් ගෘප් (WhatsApp Group) හරහා ද සංසරණය වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇත.
2020 මාර්තු මස සිය දරුවා මෙරටට ගෙන ඒම සඳහා මෙරටින් ගුවන් යානයක් යැවූ බවටත්, මෙරටට පැමිණි සිය මනඃකල්පිත දියණිය ගුවන් තොටුපලේදී යකා නැටූ බවටත් , වරාය නගර ව්‍යාපෘති සමාගම සිය පුත්‍රයා හට අයත් බවටත් වූ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුල බෙදා හරිමින් පසු ගිය කාලය තුල මෙවන් ආකාරයේම මඩ ප්‍රචාරයන් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව දියත් කර තිබු බවද එහි සඳහන් ය.
මෙවන් මඩ ප්‍රචාරවලට නොරැවටෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.