“මම පරාජයට බිය නොවෙමි. දිනුමකට වඩා බොහෝ දේ මට අහිමි වී ඇත. ජීවිතය එයයි. මා සිතන්නේ මා කරන දෙය කළයුත්තේ කෙසේද යන්න කියා පමණි. මගේ පරාජයන්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගතිමි. ඉලක්ක සපුරා ගැනීමට වඩා, ඉලක්කයක් කරා යන ගමනේදී මට බොහෝ වටිනාකම් හිමි වූ බව මට අවබෝධ වී ඇත. මම පෙළ ගැසෙමි, මම මගේ උපරිමය ලබා දෙමි. එහිදී ලබන ජයග්‍රහණය හෝ පරාජය ගැන මා කිසිසේත් බිය නොවෙමි.”
ඇලිසන් ෆීලික්ස්. 35 වැනි වියේ පසුවන පුංචි දියණිකගේ මවක වන ඇය අමෙරිකානු ජාතික ලෝක ධාවන ශූරියකි. පෙරේදා දිනයේ දී ද ඇය ජපානයේ පැවැත්වෙන ධාවන තරගයකින් පදක්කමක් හිමිකරගත්තාය. මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙලේදී ඇය මීටර් 4×400 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කමටත් මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් හිමිකරගත්තේ ඇගේ වෘත්තිිමය ධාවන දිවියේ ඔලිම්පික් පදක්කම් 10ක් සපුරාලමිනි. ඇය ලෝක ධාවන ශූරියකි. පදක්කම් ගණනාවක් දිනූ ඇය පසුගිය දා ඇය මෙතෙක් ගෙන ආ ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළාය.
“ව්‍යාපාරයක් ආරම්භ කිරීම අමාරුයි, නමුත් වසංගතයක් තුළ ඔබේ ජීවිතයේ ලොකුම තරඟය සඳහා පුහුණුවීම් කරන අතරතුර ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඊටත් වඩා අමාරුයි.”
ඇලිසන් ඒ බව කියන්නේ ඔලිම්පික් තරගයට පුහුණුවීම් අතරතුර සිය ජීවිතයට වෙනස් කළ මාවතක පළමු පියවර තබමිනි. ඇගේ අලුත්ම ජීවන පරිච්ඡේදය ගැන මෙලෙස පැවසුවාය.
“ආදරණීය ලෝකවාසීන් වෙත,
වගේම එහි වෙසෙන කාන්තාවන් වෙත,
මම මගේ ජීවිත කාලෙ පුුරාම කළේ දිවගිය එකයි. මම ඒකට දක්ෂයි. ඒ ගැන පෙන්වන්න මට පදක්කම් රාශියක් තිබෙනවා. මම දුවන එකෙන් නවතින්න බය වුණා. මට විශ්වාසයක් තිබුණේ නෑ දුවන්නේ නැතුව හිටියොත් මං කොහොම කෙනෙක් වෙයිද කියන එක ගැන. බොහෝ කාන්තාවන්ට වගේ මට ඒකෙන් ගැලවිලා පවුලක් ගොඩනඟාගන්නවා කියන එක මගේ වෘත්තිමය ජීවිතේට ‘මරණ දඬුවමක්’ වගේ වුණා. ඒත් කොහොමහරි මම ඒ්ක කළා.
මම ගැබිනියක් වුණාට පස්සේ ලිංගභේදය නිසා සිදුවන අසාධාරණකම්වලට මම මුහුණ දුන්නා. මගේ සේවායෝජකයා මගේ මාතෘත්වය වෙනුවෙන් කිසිදු සහයක් දැක්වූයේ නෑ. මම කාන්තා ධාවන ශූරියන්ගේ මාතෘත්වයට ඉඩදීම වෙනුවෙන් හඬනැඟුවා. වෘත්තියකයෙකු වීම සහ මවක් වීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට කිසිම කාන්තාවකට සිදු නොවිය යුත්තක්. දැන්, එම සටන නිසා, බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ අනුග්‍රහකයන්ගේ ගිවිසුම් පසුකාලීනව වෙනස් වී තිබෙන බව දකින්නට පුළුවන්.
මගේ ගර්භනී කාලයේදී මට සංකූලතා ඇතිවුණා. මට අවබෝධ වුණා තවත් අයුක්තියක් වෙනුවෙන් මා හඬනැගිය යුතුයි කියලා. අපගේ සෞඛ්‍ය සේවාවේ තිබෙන වාර්ගික අයුක්තීන් ගැන. මම ඒ් පිළිබඳ අමෙරිකානු කොංග්‍රසයට පවා කිව්වා. මා ලැබූ කටුක අමිහිරි අත්දැකීම් ගැන ඔවුන්ට කිව්වා. ඒ වගේම මම යළි යළිත් වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ඉදිරියටත් මගේ හඬ නඟනවා.
මේ වසරේ ඔලිම්පික් උළෙලේදී මට මගේ Racing Spikes වෙත අනුග්‍රාහකත්වයක් ලැබුණේ නෑ. මම හැකිතරම් උත්සහ කළා වෙනසක් ඇති කරන්න.
ඉතින්, අපි අපේම කියලා සන්නාමයක් ඇතිකරගත්තා. Saysh. ඒ තමයි නම. අපේ කාන්තා පාවහන් නිෂ්පාදන කාන්තාවන් වෙනුවෙන්මයි. මේක ප්‍රජා-මූලික කරගත් නිපැයුමක්. ඒ වගේම ඒවා නිර්මාණය වන්නේත් කාන්තාවන් අතින්. මම පටන් ගත්තේ මගේ Racing Spikes වලින්. පසුව අපි විවිධ විලාසිතාවන්ගෙන් යුතු Sneakers හඳුන්වා දෙනවා. ඔබ සැමට මේ හැමදේම ගෙනෙන තෙක් මට ඉවසිල්ලක් නෑ. මේ නිෂ්පාදන වෙළෙඳපොළේ තරඟකාරී අනෙක් පාවහන් වගේ නෙවෙයි ඊට වඩා මට ගොඩක් වටිනවා. මොකද මේ සන්නාමය නියෝජනය කරන්නේ බලාපොරොත්තු, පිළිගැනීම සහ වෙනසක් ඇතිකිරීමේ බලයයි.
ඔබත් පැමිණ බලන්න. අනිවාර්යයෙන්ම ඔබටත් එය දැනේවි යැයි මම හිතනවා.
මම ධාවනය පථයක දිවයනවා දකින ඔබ දැනගන්න.. මම ඒ දිවයන්නේ පදක්කමක් හිමිකරගැනීම වෙනුවෙන් නොවන බව. මම දිවයන්නේ වෙනසක් ඇතිකිරීම වෙනුවෙන්. මම දිවයන්නේ අපි හැමෝටම එක හා සමානව සළකන දිනයක් වෙනුවෙන්. මම දිවයන්නේ කාන්තාවන් වෙනුවෙන්. අන් හැමදේකටම වඩා, මා දිවයන්නේ තමන් ගැන, තමන්ගේ තැන ගැන, තවමත් හරිහැටි නොදන්නා කාන්තාවන්, ගැහැණු ළමුන් වෙනුවෙන්. අනාගතයේදී කිසිඳු කාන්තාවකට හෝ ගැහැණු ළමයෙකුට නැතැයි නොකියන තැනක් උදෙසා, මම දිවයන්නෙමි.”