තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මඩකළපුවේ පූජා පැවැත්වූ භාරකරුවන් උසාවියට - සියල්ලෝ නිරෝධායනයට

    මඩකළපුවේ පූජා පැවැත්වූ භාරකරුවන් උසාවියට – සියල්ලෝ නිරෝධායනයට

    COVID-19 වසංගතය මාරාන්තික ලෙස ව්‍යාප්ත වෙමින් තිබියදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් මඩකලපුවේ මාමංගම්හිදී ඊයේ පැවති හින්දු ආගමික උත්සවයකට සහභාගී වූ පූජකවරුන් සහ සැදැහැවතුන් සියලු දෙනාම හඳුනාගෙන ඔවුන් දින 14ක නිරෝධායනයට යොමුකර තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජී.කාසිලිංගම් මහතා පැවසුවේ මඩකලපුව මාමංගම් විහාරස්ථානයේ ආගමික රැස්වීම් පැවැත්වීම පිළිබඳව සිදුකළ විමසීමකින් අනතුරුව නිරෝධායන නීතිය යටතේ දේවස්ථානයේ භාරකරුවන් 5 දෙනාට එරෙහිව නීතිමය කටයුතු ගොනු කරන ලද බවයි. ඔවුන් අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25,000 බැගින් මුදල් ඇප මත මුදා හැර තිබෙන බව ද ඔහු කීය.

    එමෙන්ම ප්‍රධාන පූජකවරයාද ඇතුළු භාරකරුවන් දින 14 ක් දේවස්ථාන භූමිය තුළම නිරෝධායනය කර ඇති අතර සහභාගි වූ බැතිමතුන් ද පොලීසිය විසින් හඳුනාගෙන තිබේ.

    බැතිමතුන් ද දින 14 ක නිරෝධායනයකට යොමු කර ඇතැයි ද ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු සියල්ලන්ම PCR පරීක්ෂණ වලට භාජනය කෙරෙන බව ද කාසිලිංම් මහතා කීය.

    වසංගතය පවතින මේ කාලය තුළ නිරෝධායන නීතිය සැමට සමාන වන බැවින් එය සැමගේම ආරක්‍ෂාව සහතික කිරීම සඳහා වන අතර තමාගේම සෞඛ්‍යය අනතුරේ හෙළීමට හේතු විය හැකි මෙම නීති කඩ නොකරන ලෙස සැමගෙන් ඉල්ලා සිටින බව ද අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා කීය.

    රජය විසින් නිකුත් කර ඇති සියලුම සෞඛ්‍ය නීතීරිතී නොසලකා හරිමින් හින්දු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම ආගමික උත්සවය වෙනුවෙන් ඊට සහභාගි වී තිබෙනු දක්නට හැකිවූ අතර මේ පිළිබද ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පුවත් පළවෙමින් දැඩි විවේචනයට ලක්විය.

    මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය අඛණ්ඩව ජීවිත බිලිගනිමින් සිටින හෙයින් පොදු රැස්වීම්, කණ්ඩායම් වශයෙන් හෝ හමුවීම්වලින් වළකින ලෙස රජය සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටි අවස්ථාවක මෙවැනි රැස්වීමක් සඳහා අවසර ලබා දුන්නේ කෙසේදැයි වෘත්තිකයන් පවා ප්‍රශ්න කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img