තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඩෙංගු මඩින්න මදුරු කීටයන්ට ඉව අල්ලන පොලීසියේ අලුත්ම බලකාය

    ඩෙංගු මඩින්න මදුරු කීටයන්ට ඉව අල්ලන පොලීසියේ අලුත්ම බලකාය

    අපේ රටේ ඉතිහාසය තුළ පොලීසියේ නිල සුනඛයින්ගේ සේවය මුලින්ම ලබාගත්තේ අපරාධකරුවන් පසු පස පන්නනටය. මත්කුඩු උවදුර උඩුදුවන විට මත්ක්ඩු සහ මත්පැන් අල්ලන්නටද පොලිස් සුනඛයින්ගේ සහය ලබාගත්තේය. අනතුරුව යුද්ධය වර්ධනය වන විටත් තැන තැන බෝම්බ පුපුරන විටත් පුපුරණ ද්‍රව්‍ය සොයන්නට සුනඛයින් පුහුණුකර යොදවනු ලැබීය. අනතුරුව ස්වභාවික ආපදාවන්වලට ලක්ව පස්කදු අස්සේ සැගවී යන ජීවිත බේරා ගැනීමටද සුනඛයන් යොදවනු ලැබීය. මේ ආකාරයට ඒ ඒ කාලවලදී අවශ්‍යතාවයට අනුව සුනඛයින් විවිධ කාර්ය සදහා පුහුණුකර තියුණු සුනඛ ඉවෙන් වැඩගත් ශ්‍රී ලංකා පොලීසියේ සුනඛ අංශය දැන් අලුත් වැඩකට අත තතා ඇත. ඒ හිස ඔසවන ඩෙංගු මදුරුවාට එරෙහිව සටන් කරන්නටය. ඒ මදුරුවන් බෝවන ස්ථාන නැති නම් මදුරු කීටයන් හදුනා ගැනීමට සුනඛ ඉව යොදා ගැනීමය.

    දීර්ඝ කාලයක් තිස්සේ පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කළ අධ්‍යනයකින් අනතුරුව තෝරාගත් සුනඛයින් දෙදෙනෙකු යොදා ගනිමින් ඒ සම්බන්ධයෙන් කළ පුහුණුව දැන් සාර්ථකවී අවසන්ය. ජොනී සහ රොමා යන එම නිල සුනඛයින් දෙදෙනා දැන් මදුරු කීටයින් ඇති ස්ථාන හදුනා ගැනීමේ මෙහෙයුම්වලටද සම්බන්ධ වෙමින් ඇත. ඒ සදහා එම සුනඛයින් දෙදෙනාට ඇත්තේ හසල ඉවක් බව නිල සුනඛ අංශයේ නිලධාරීන් පවසති.

    ඒ අනුව ඉදිරියේදී ඩෙංගු මදුරු මර්දනය සදහා පොලිස් පරිසර අංශය දියත්කරන මෙහෙයුම්වලට මේ සුනඛයින් දෙදෙනාගේ සහය ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවැසීය.

    පොලිස් නිල සුනඛ අංශයේ නිලධාරීන් සදහන් කරනු ලැබුවේ නිල සුනඛ අංශයේ සිටින තවත් සුනඛයින්ට ඉදිරියේදී මෙම පුහුණුව ලබාදී මදුරු කීටයින් ඇති ස්ථාන හදුනා ගැනීමට සුනඛ බලකායක්ම සකස්කරන බවය. ඒ සදහා මූලික පුහුණුව දැනටමත් ආරම්භකර ඇති බවද එම නිලධාරීන් පවසති.

    සුනඛ ඉවෙන් ඉතා පහසුවෙන්ම මදුරු කීටයන් ඇති ස්ථාන හදුනා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඩෙංගු මර්දන කටයුතු වලදී එය පහසුවක් වනු ඇති බවත් අජිත් රෝහණ මහතා විශ්වාසය පලකරයි.

    ශ්‍රී ලංකා පොලීසිය සතුව නිල සුනඛයින් 200කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img