
රටට විදේශ විනිමය ගලා එන කර්මාන්ත ශාලා අඩපණ කිරීමේ අරමුණෙන් ජවිපෙ වෘත්තිය සමිති ගෙනගිය වැඩ වර්ජනයක් ව්‍යාර්ථ කළ බියගම ඇගියෝ කම්හලේ කළමනාකාරීත්වය ආයතන නීති රීති උල්ලංඝනය කළ සේවකයන් 27 දෙනෙකුගේ සේවය පූර්ණ වැටුප් සහිතව තහනම් කර ඇත.
කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සීමා පනවා තිබිය දී කළ සේවය වෙනුවෙන් අන්තර් සමාගම් සේවක සංගමයේ වෘත්තිය සමිති සාමාජිකත්වය විසින් එක් සේවකයකුට රුපියල් 50000ක විශේෂ දීමනාවක් ඉල්ලා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
සේවකයන් 2000ක් සේවය කරන මෙම කම්හලේ අදාළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට නම් දළ වශයෙන් රුපියල් දස කෝටියකට අධික මුදලක් යෙදවිය යුතුව තිබිණි.
ලොව ජනප්‍රිය එස්.ටී.ජී සන්නාමය යටතේ නිෂ්පාදනය වන සුරුට්ටු කර්මාන්ත ශාලාවක්වන මෙහි මව් පාලනාධිකාරිය විසින් එවැනි අතිරේක මුදලක් වැය කිරීමට මෙවැනි දුෂ්කර සමයක ඇති අපහසුතාව පෙන්වා දී තිබේ.
ඒ අනුව වෘත්තිය සමිති නියෝජිතයන් සහ පාලනාධිකාරිය අතර පැවති සාකච්ඡා බිඳ වැටීමත් සමඟ පසුගිය 6 වැනිදා සේවයට වාර්තා කොට සේවය ප්‍රතික්ෂේප කරමින් මෙම වෘත්තිය සමිති නියෝජිතයෝ කොවිඩ් මාර්ගෝපදේශ කඩවන ආකාරයෙන් ආයතන භූමිය තුළ රැඳී සිට ඇත.
බියගම පොලිසිය ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් පවා ලබා ගනිමින් පිරිස පාලනය කර ඇති අතර එදින රාත්‍රියේ ආයතන සේවකයන් 27 දෙනෙකු අනවසරයෙන් ආයතන භූමියේ රැදී සිට ඇත. රාත්‍රි 10න් පසුව කාන්තා සේවිකාවන් ආයතන තුළ රඳවා ගැනීමට විශේෂ අවසර ක්‍රියාත්මක කළ යුතු වුවද වෘත්තිය සමිති නියෝජිතයෝ ඔවුන්ගේ බලපෑමට කාන්තා සේවිකාවෝද එහි රඳවා තබා ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය ද ඇගියෝ සමාගමෙන් කරුණු විමසා තිබේ. ඉහත හේතු මත වැටුප් සහිතව සේවකයන් 27 දෙනෙකුගේ සේවය තහනම් කර ඇති අතර ඔවුන්ගෙන් හය දෙනෙකු වෘත්ති සමිති නායකයන් ලෙස හඳුන්වාගත් අය බව ඇගියෝ කර්මාන්ත ශාලා ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අදාළ සේවය තහනම් කළ වෘත්තිය සමිති නායකයන් ඇතුළු සියලු දෙනා විභාගයකින් තොරව නැවත සේවයට ගන්නැයි අන්තර් සමාගම් සේවක සංගමය කළ ඉල්ලීම කළමනාකාරීත්වය ඉවත දමා ඇත.
මෙවැනි දුෂ්කර සමයක ආයතනයෙන් දෙන දීමනා හෝ වැටුප් සීමා නොකළ තත්ත්වයක දී අතිරේක මුදල් ඉල්ලමින් මෙවැනි අසාධාරණ වැඩවර්ජන කරන්නේ නම් මෙම ආයතනයේ නිෂ්පාදන කටයුතු නවතා දමා ආයතනය වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මව් සංගමය මෙරට පාලනාධිකාරියට දැනුම් දී තිබීම ඊට හේතුවයි.
ආයතන සේවකයන් 2000ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදුවන අපහසුතාවන් වැළැක්වීම වෙනුවෙන් එවැනි තීන්දුවකට නොයා අදාළ ගැටලුව සමතයකට පත්කිරීමට කළමනාකාරීත්වය වෙහෙස වී තිබේ.
එහෙත් මෙම ප්රශ්නය වසන්ත සමරසිංහ මහතා ඇතුළු වෘත්තිය සමිති නියෝජිතයන් විසින් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට යොමු කර ඇති අතර සමාගමේ උසස් කළමනාකාරීත්වය දන්වා ඇත්තේ අදාළ සේවකයන් වෘත්තිය සමිති නියෝජිතයන් ද නැද්ද යන නොව ආයතනයේ විනය කඩ කිරීම හේතුවෙන් සිදුකරණ පර්යේෂණ අවසන් වනතුරු වැටුප් සහිත සේවා තහනම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.
ශ්‍රී ලංකාව කාර්මික අපනයන ආදායමෙන් සියයට 85 ක් උපයා ගන්නේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලාහි නිෂ්පාදන අපනයෙනි.
පවතින වසංගත තත්ත්වය යටතේ වුවද ආයෝජන කලාප සතු කර්මාන්ත ශාලා සියල්ලක්ම පාහේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එය ප්‍රතිශතයක් ලෙස එය සියයට 98කි. සේවක පැමිණිම පසුගිය 29 වන දින ප්‍රතිශතයක් ලෙස සියයට 80 කට වැඩි ඉහල අගයකි.
පවතින කොවිඩ් අවදානම යටතේ වුවද මෙරට නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු අංශ දක්වන දායකත්වය අගේ කරන බව ආයෝජන මණ්ඩල සභාපති සංජය මොහොට්ටාල අද නිවේදනයක් ද නිකුත් කර තිබේ.
කොවිඩ් නව ප්‍රභේද ව්‍යාප්ත විමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි අයුරින් අනුගමනය කර සේවක ආරක්ෂාව ප්රමුඛ ලෙස සලකමින් කර්මාන්ත පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස සියලු පාර්ෂවයන්ගෙන් ඉල්ලා සිටින බව ද මොහොට්ටාල මහතා එම නිවේදනයෙන් සඳහන් කර ඇත.