තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උපතින්ම දෑස් අහිමි ජීවන්තට ලෝකය දකින්නට වරම් ලැබුණු හැටි

    උපතින්ම දෑස් අහිමි ජීවන්තට ලෝකය දකින්නට වරම් ලැබුණු හැටි

    උපතින්ම දෑස් පෙනීම අහිමිව සිටි ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම පදිංචි ජීවන්ත රත්නායක 13 හැවිරිදි දරුවෙකි.

    ජීවන්ත දරුවා ඇසක් ඉල්ලා නගන හඬ සමාජ මාධ්‍යජාලා ඔස්සේ සැරිසැරුවේය.

    මේ පෝස්ටුව දකින අගමැතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ඒ බව තම මවට කිවේය.

    ඒ අනුව අග්‍රාමාත්‍ය ආර්යාව ඇසක් ඉල්ලන මෙම දරුවාගේ පිහිටට ඉදිරිපත් වූවාය.

    පළමුව දරුවා කොළඹට ගෙන්වාගෙන මෙරට සිටින දක්ෂතම මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරන අග්‍රාමාත්‍ය ආර්යාව ජීවන්ත රත්නායක දරුවා කොළඹ දී පරීක්ෂණ ගණනාවකටම යොමු කළාය.

    එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබා දීමට හැකි බවට වූ විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව ප්‍රතිකාර ආරම්භ විය.

    ඒ අනුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සියලු බර පැන දරමින් අවස්ථා කිහිපයක දී දරුවා කොළඹට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර කළාය.

    ජීවන්ත රත්නායක දරුවාට ලොව දකින්නට වරම් උදාවූයේ ඒ අනුවය.

    ලොව දකින්නට වාසනාව උදාකරගත් ජීවන්ත අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවන්නට ආවේ සිය පියා ද සමගය.

    අග්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි සිය පුතණුවන් පිළිබඳව ඔහුගේ පියා ඒ. සුගතපාල මහතා දැක්වූයේ මේ බව කීය.

    “දරුවාගේ ඇස් උපතින්ම පෙනුණේ නැහැ. ඒ නිසා පුතා ගොඩක් අපහසුතාවලට පත්වුණා. අපි හරි දුප්පත් අපිට දරුවගේ ඇස් සනීප කරගන්න තරම් වත්කමක් නැහැ. මේ අතරතුර තමයි ශිරන්ති රාජපක්ෂ මැතිනිය මගේ පුතාගේ ඇස් දෙක සනීප කරන්න උදව් කරන්න ඉදිරිපත් වුණේ.

    පසුව එතුමිය කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකුට පුතාව යොමු කරලා බෙහෙත් කරන්න පටන් ගත්තා. කියන්න සතුටුයි දැන් මගේ පුතාට ඇස් පේනවා. බයිසිකලේ අරගෙන ගේ වටේ පැදගෙන යනවා. පොත් බලනවා. දැන් පුතා එයාගේ වැඩ තනියම කරගන්නවා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. පුතා අනුරාධපුර රියන්සි අලගියවන්න විශේෂ පාසලේ ඉගෙනගන්නවා. මේක මහා උතුම් පුණ්‍යකර්මයක් ” යැයි සුගතපාල මහතා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img