මුල් පිටුව අධ්‍යාපනය ගුරු-කාර්ය මණ්ඩල එන්නත් දීම 77%ක් අවසන් – වැටුප් විෂමතා සාකච්ඡා හෙටත්

ගුරු-කාර්ය මණ්ඩල එන්නත් දීම 77%ක් අවසන් – වැටුප් විෂමතා සාකච්ඡා හෙටත්

0

අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල පියවරෙන් පියවර නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය පෙරදැරි ව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වන ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන අද උදෑසන (26) වනවිට 77%ක් පමණ අවසන්කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ 98%ක්, දකුණු පළාතේ 83%ක්, වයඹ පළාතේ 82%ක්, උතුරු මැද පළාතේ 82%ක්, ඌව පළාතේ 80%ක්, මධ්‍යම පළාතේ 79%ක්, උතුරු පළාතේ 62%ක්, සබරගමු පළාතේ 52%ක් සහ නැගෙනහිර පළාතේ 48%ක් වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට තිබේ.

ඒ අනුව අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 2 22 940ක ප්‍රමාණයක් එන්නත් ලබා දී තිබේ. එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත ය.

ඒ අනුව අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල කිසියම් සැලැස්මකට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත් ව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂිත ය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බව ත් මෙම තත්ත්වය අවුරුදු 24ක් තිස්සේ පැවැති තත්ත්වයක් බව ත් පැවසූ අමාත්‍යවරයා තම රජය මේ ගැටලුව සම්බන්ධ ව සංවේදී ව සිටි බවත් පැවසී ය.

ඩී.සී පෙරේරා වාර්තාව තුළින් මෙම ගැටලුව සම්බන්ධ ව හෙළි කෙරුණු අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ‍ප්‍රකාශයේ ද මේ සම්බන්ධ ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බව සඳහන්කොට තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරු ව එවකට සිටි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් මේ සම්බන්ධ ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර තමා අධ්‍යාපන අමාත්‍යංශය භාර ගැනීමෙන් අනතුරු ව මේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ‍අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05කගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ද පැවසී ය.

ඒ අනුව මේ ගැටළුව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයකොට සුබෝදිනී වාර්තාව ඉදිරිපත් වී තිබේ.

මේ සම්බන්ධ ව වෘත්තීය සමිති සමඟ දිගින් දිගට ම සාකච්ඡා පැවැත්වුණු අතර අද සවස 05ට කැබිනට් මණ්ඩලය රැස්වෙනවිට මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවසී ය.

එමෙන් ම හෙට උදෑසන (27 ) නැවත වතාවක් ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ය.

එබැවින් සිසු දරුවන් පීඩනයට පත් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩ ව ඉදිරියට ගෙනයන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අඅද (26) දින නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version