Home උණුසුම් පුවත් ඩිජිටල් සංචාරකයන්ට දිගුකාලීන වීසා ක්‍රමයක්

ඩිජිටල් සංචාරකයන්ට දිගුකාලීන වීසා ක්‍රමයක්

ඩිජිටල් සංචාරකයන්ට දිගුකාලීන වීසා ක්‍රමයක්

ඩිජිටල් සංචාරකයින් සඳහා වසරක කාලයක් දක්වා දිගුකාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

ඩිජිටල් සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝකාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වා දීම මෙහිදී සිදුකෙරේ.

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කරන, සංචාරකයින් වශයෙන් රට රටවල සැරිසරමින් ජීවිතය ගත කරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් වශයෙන් හඳුන්වනු ලබයි.

එවැනි සංචාරකයින්ට පහසුකම් සැලසීම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවණතාවක් වශයෙන් මෑතකාලීනව වර්ධනය වෙමින් පවතී.

ඩිජිටල් සංචාරකයින් බොහෝ විට අවන්හල්, මහජන පුස්තකාල හා එවැනි වෙනත් ස්ථාන හෝ විනෝදාත්මක වාහනවල සිටිමින් අන්තර්ජාල පහසුකම් සහිත උපාංග භාවිත කරමින් මාර්ගගතව සිය සේවාවන් සපයනු ලබයි.

සන්නිවේදනය සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පැවතීම, දීර්ඝකාලීන වීසා බලපත්‍ර, ලාභදායී නවාතැන්, ඉපැයීම් සඳහා බදු නිදහස වැනි කරුණු එවැනි සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත.

ඩිජිටල් සංචාරකයින් මෙරටට ආකර්ශනය කර ගැනීමත්, වැඩි කාලයක් මෙරට රැඳී සිටීම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමත් මඟින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට උපයා ගත හැකි වනු ඇත.

ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ අන්තර්ජාලය ඔස්සේ රැකියා කරන, ආදායම් උපදවන පිරිස සංඛ්‍යාත්මකව වැඩිවෙමින් තිබේ.

ඊට හේතුවී ඇත්තේ පවතින ආර්ථික කඩාවැටීමත් සමඟ ලොව පුරා රටවල් බොහොමයක ලොව ප්‍රමුඛ සමාගම්වල පවා හැකිතාක් දුරස්ථව වැඩ කරමින් නිවසේ සිට සේවය කිරීමේ ක්‍රමවේද හදුන්වා දී සිය කාර්යාල වසා දැමීමයි.

මේ තත්ත්වය මත මතුවු නව ප්‍රවණතාව හමුවේ අන්තර්ජාලය මගින් සේවා සපයමින්, ආදායම් උපදවමින් ලොව වටා සංචාරය කරමින් කටයුතු කරන සංචාරකයන්ගේ ක්‍රමානුකූල වැඩිවීමක් දක්නට ඇත.

ඔවුන් ඩිජිටල් සංචාරකයන් වර්ගීකරණයට ලක්කොට ඇති අතර මෙහිදී ඉලක්ක කොට ඇත්තේ ඔවුන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here