අසීමිත ලෙස වාණිජ කටයුතු සදහා භූගත ජලය පරිහරණය කරන්නන්ට දඩුවම් කිරීමට ජල පනතේ ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් ජල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා විසින් ඊයේ එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධවෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශය මෙසේය.
- අසීමිත ලෙස වාණිජ කටයුතු සඳහා භූගත ජලය පරිහරණය කිරීම පාලනය හා ජල දූෂණය වළක්වා ගැනීමේ අරමුණින් එවැනි කාර්යයන් ජලසම්පත් මණ්ඩලයේ අධීක්ෂණය හා පාලනයට යටත් කිරීම සඳහා 1964 අංක 29 දරන ජලසම්පත් මණ්ඩල පනතේ විධිවිධාන අනුව අදාළ නියෝග 2017 මාර්තු මස 16 දිනැති ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එහෙත්, ඒ සම්බන්ධයෙන් වන වැරදි සහ ඊට අදාළ දඩුවම් පැමිණවීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන ජලසම්පත් මණ්ඩල පනතේ නොමැති බව නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම, එකී නියෝග පරිදි ජලසම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි නොවී අනවසර විදුම් යන්ත්‍ර ළඟ තබා ගැනීම හා භාවිතය පාලනය කිරීම සඳහා ද විධිවිධාන පනවා ඇති නමුත් එකී නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් නීත්‍යානූකුලව කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන දැනට ජලසම්පත් මණ්ඩල පනතේ ඇතුළත්ව නොමැත. එබැවින්, ඉහත කී කාර්යයන් සඳහා සහ එම මණ්ඩලය විසින් සේවාවන් සැපයීමේදී මුහුණ දෙන වෙනත් අභියෝගවලට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා යෝග්‍ය නීතිමය ප්‍රතිපාදන එකී පනතට හඳුන්වා දීම පිණිස ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.