මුල් පිටුව අනාවරණ චීන ජාතිකයෙක් මෙහෙයවන ලද ක්‍රෙඩිට්කාඩ් වංචාවක් හෙළිවේ

චීන ජාතිකයෙක් මෙහෙයවන ලද ක්‍රෙඩිට්කාඩ් වංචාවක් හෙළිවේ

0

ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාජ ලෙස සකස්කර අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කරමින් සංවිධානාත්මක කරගෙන ගිය ඡාවාරමක් මෙහෙයවන ලද චීන ජාතිකයෙක් ඇතුළු සිව් දෙනෙකුගේ කණ්ඩායමක් ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හෙළිකර ගෙන තිබේ.

ඒ අනුව ගල්කිස්ස පංසල පෙදෙසේ කුළියට ගත් නිවසක රැදී සිටි චීන ජාතිකයා ඇතුළු සිව් දෙනා ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇත.

චීනයේ සිටින පුද්ගලයෙක් විසින් ව්‍යාජ ලෙස සකස්කරන ක්‍රෙඩිඩ්කාඩ් දත්තයන් තමන්ට ලබාදෙන බවත් එම දත්තයන්ට අනුව භාණ්ඩ ඇණවුම් කරන බවත් අත්අඩංගුවට ගෙන ඇති සිව් දෙනා අතර සිටින චීන ජාතිකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර තිබේ.

මෙරට ප්‍රසිද්ධ වාහන කුලී ආයතනයක් මගින් එම භාණ්ඩ ඇණවුම් කර ඇති අතර දින දෙකකදී ලක්ෂ 08 ක පමණ භාණ්ඩ ඔවුන් ඇණවුම්කර ඇති බව සදහන්ය. කිරිපිටි වර්ග, බෝතල් කල පොල්තෙල්, ඡෑම් වර්ග , වැනි ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ඔවුන් ඇනවුම් කර ඇතැයි විමර්ශන වලින් හෙළිවී ඇත. ඊට අමතරව එල්.ඊ.ඩී. රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද ඇනවුම්කර ලබාගෙන ඇතැයි පොලීසිය කියයි.

මෙසේ ඇනවුම් කරන භාණ්ඩ නැවත ඔවුන් වෙනත් පුද්ගලයින්ට අලෙවි කරන බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

මෙම ඡාවාරම අනාවරණය වී ඇත්තේ අදාල කුළී රථ සමාගම ගෙවීම් සදහා බැංකු වලින් මුදල් ලබාගැනීමට යාමේදී එම කාඩ්පත්වලට අදාල ගිණුම් ව්‍යාජ බව හෙළිවීමත් සමගිනි. ඒ අනුව ගල්කිස්ස පොලීසියට එම සමාගම විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

එම සැකකරුවන් අතර ආපන ශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙක්ද සිටින බවත් ඔහුගේ ආපනශාලාවේ චීන ජාතිකයා සේවකයෙක් ලෙස කලක් සේවයේ නිරතව සිටි අයෙක් බවත් පොලීසිය කියයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආපන ශාලාව වසා දැමීමට සිදුවීම හේතුවෙන් මේ ආකාරයට වංචා කිරීමට පෙළඹුණු බව ව්‍යාපාරිකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් කර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version