මුල් පිටුව අනාවරණ මත්කුඩු කිලෝ 200 ගන්න ජාත්‍යන්තර මුහුදට ගිය ට්‍රෝලරය මිරිස්සට රැගෙන එයි

මත්කුඩු කිලෝ 200 ගන්න ජාත්‍යන්තර මුහුදට ගිය ට්‍රෝලරය මිරිස්සට රැගෙන එයි

0

වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී අද (13) අලුයම අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 200 ට අධික තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් ඉරාන් නෞකාවෙන් භාරගෙන මෙරට මුහුදු තීරයේදී කුඩා බෝට්ටුවට භාරදුන් බහුදින යාත්‍රාව මිරිස්ස ධිවර වරායට නාවික හමුදාව විසින් එහි සිටි සැකකරුවන් 06 දෙනාද සමග රැගෙන විත් ඇත.

එම බහුදින යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 03 ක්ද සොයාගෙන තිබේ. කුඩා යාත්‍රාවට හෙරොයින් තොගය පටවන අවස්ථාවේදී ගෝනි දෙකෙහි තිබුණු හෙරොයින් තොගයෙන් කිලෝ 01 බැගින් වූ පාර්සල් තුනක් බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් විසින් සොරාගෙන ඇතැයි ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත. එම හෙරොයින් කිලෝ 03 රුපියල් කෝටි තුනකට අධික වටිනාකමක් ඇති බවත් ඒවා හොර රහසේ අලෙවිකර බෝට්ටුවේ සිටි පිරිස බෙදා ගැනීමට සූදානමින් සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

එම හෙරොයින් කිලෝ 03 ද සමග සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 219කට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.

මෙම බහුදින යාත්‍රාව ඉකුත් මැයි 11 වෙනිදා මාතර කොට්ටේගොඩ ධිවර වරායෙන් පිටත්ව ගොසස් ඇති බවත් කුඩා යාත්‍රාව පිටත්ව ගොස් ඇත්තේ මෙයට දින තුනකට පෙර බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ. කුඩා යාත්‍රාවේ සිට ඇත්තේ තිදෙනෙකි.

මෙම හෙරොයින් තොගය පකිස්තානයේ සිට රැගෙනවිත් ඇති අතර ඇනවුම්කරුවන් ලෙස හදුනාගෙන ඇත්තේ ඩුබායි හී රැදී සිටින කොස්ගොඩ සුජී සහ හරක්කටා යන දෙදෙනාය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම හෙරොයින් තොගය ගොඩබිමේදී භාර ගැනීමට සූදානමින් සිටි තිදෙනෙක්ද අද අත්අඩංගුවට ගත්තේය. ඒ අය අතර හරක්කටාගේ ගෝලයෙක්ද සිටින බව සදහන්ය.

සැකකරුවන් වයස අවුරුදු 26 ත් 43 අතර වයසේ පසුවන වැලිගම, අහංගම, දික්වැල්ල, කොට්ටේගොඩ, ඉහළවත්ත, මිරිස්ස, පොල්වතුමෝදර සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version