fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසර 200ක් අතීතයට කාලතරණ ඓතිහාසික T20 හෙට ඇරඹෙයි

    වසර 200ක් අතීතයට කාලතරණ ඓතිහාසික T20 හෙට ඇරඹෙයි

    එක් ලෝක කුසලානයක් සඳහා ලොව ප්‍රබල කණ්ඩායම් 20ක් තරගවදින පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හෙට (2) ආරම්භ වීමට නියමිත ය.

    ඒ අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් හි සත්කාරකත්වයෙනි.

    අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගය ඓතිහාසික තරගයකි.

    එනම්, වසර 200කට මඳක් අඩු කාලයකට පෙර, නිව්යෝර්ක්හි ශාන්ත ජෝර්ජ් ක්‍රිකට් සමාජය විසින් 1844 දී එක්සත් ජනපදය සහ කැනඩාව අතර පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වීය. දින 3ක් පුරා පැවති තරගාවලිය එදා ජයගත්තේ කැනඩා කණ්ඩායමයි.

    මේ වනවිට හරියටම වසර 180 කට පසුව, එහි ආරම්භයට යළිත් ගමන් කරමින් 2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සමඟින් එක්සත් ජනපදය සහ නිව්යෝර්ක්, ක්‍රිකට් ක්‍රීඩාව නැවත එහි ක්‍රීඩාංගනයට පිළිගැනීමට සූදානම්ව සිටී.

    පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එදා නිව්යෝර්ක් පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තියක් විය.

    නිව්යෝර්ක් හෙරල්ඩ් පුවත්පතේ එදා මෙම තරගය ප්‍රධාන සිරස්තලයක් වී තිබූ අයුරු

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් විශ්වාස කරන්නේ ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රදර්ශන ඉසව්වක් පළමු වරට එක්සත් ජනපදයට ගෙන ඒමේ අවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.

    හෙට තරගාවලියේ සමාරම්භක උළෙලින් අනතුරුව, ඇමෙරිකාව සහ කැනඩා කණ්ඩායම පළමු තරගය වෙනුවෙන් පිටියට පිවිසෙනු ඇත.

    එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 6.00ට ආරම්භ වීමට නියමිතයි.

    එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් ද හෙට තරග වදිනු ඇත.

    මෙවර ලෝක කුසලානයේ මූලික වටයේදී A, B, C, D වශයෙන් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වේ.

    එහි D කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මූලික වටයේ දී තරග වැදීමට නියමිතව ඇති අතර ඊට ඇතුළත් සෙසු රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තයයි.

    ඒ අනුව මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන පළමු තරගය ජූනි මස 3 වැනිදා දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වේ.

    දෙවැනි තරගය, 8 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශය සමගයි.

    එමෙන්ම මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන තෙවැනි තරගය 12 වැනිදා නේපාලය සමගින් පැවැත්වීමට නියමිතව ඇති අතර සිව්වන තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන 17 වනදා නෙදර්ලන්තය සමගයි.

    1844 වසරේ පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලකුණු පුවරුව පහතින්.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.