දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස් කිරීමට අදාලව QR කේතයක් හදුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුලදී නව කේතය හදුන්වා දීමට පියවර ගන්නා බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිලය පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) දින පිහිටුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බවට සහතික විය.
ඒ අනුව මෙම අන්තර්වාර මෙහෙයුම් කමිටුව විසින් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අදාලව ත්‍රිරෝදරථ රියැදුරන් සඳහා වූ වෘත්තීය කවුන්සිලය පිහිටුවන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම අන්තර්වාර ආංශික කමිටුව මෙරට ක්‍රියාත්මක සියලුම ත්‍රිරෝදරථ රියැදුරු සංගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත ය.
ඔවුන් මීට පෙර පැවැත්වූ සාකච්ඡාවන් හිදී සිය වෘත්තියේ ගරුත්වය වර්ධනය කිරීමට අදාලව එකඟතාවයට පත් වූ කරුණු සමන්විත යෝජනාවලියක්ද අද දින අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එහිදී මෙම යෝජනා බලාත්මක කිරීමට අදාල නෛතික පසුබිම සපයමින් එම යෝජනා නව රැකීරක්ෂා පනත යටතේ ගැසට් කිරීමට කඩිනමින් පියවරගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දිවයින පුරා ‘ගරුසරු’ වැඩසටහන පිළිබඳව පැවැත්වීමට නියමිත දැනුවත් කිරීමේ වැඩසටහන්වලට එක්වීමටද අන්තර්වාර ආංශික කමිටුව සිය එකඟතාව පළකරනු ලැබීය.
එමෙන්ම ත්‍රීරෝදරථ රියැදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝදරථ රියැදුරන්ට ගමන්වාර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට අමාත්‍යවරයා විසින් ගෙනයන වැඩපිළිවෙලට කමිටු සමාජිකයින් සිය සතුට පළකළ අතරම සිය සංවිධානයේ ඉදිරි කටයුතු කරගෙන යාමට ඇතැම් රාජ්‍ය ආයතන තු< යම් බාධා පවතින බවද කමිටු සමාජිකයෝ පෙන්වා දුන්හ.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කිරීමට පවතින ප්‍රමාදයක් දැඩි අභියෝගයක් වී ඇති බවද කමිටු සමාජිකියන් පෙන්වා දුන් අතර එහිදී ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද පියවර ගනු ලැබීය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ ප්‍රමිතීන් ඔවුන් විසින්ම සකස් කර දියයුතු බවත් අමාත්‍යවරයා වශයෙන් තමන් එම යෝජනා බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස්කර දීම පමණක් සිදුකරන කරන බවයි.
එමෙන්ම කිසිම අවස්ථාවක සමාජ ආරක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ රක්ෂණ සමාගම් හෝ වෙනත් කිසිම පාර්ශවයක් එක්කර නොගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද මෙන්ම පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත මෙම නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ක්‍රියාත්මක වන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.