ලබන වසරේ මුල් දින 7 තුලදී නුවරඑළිය ප්‍රදේශයට දමිළ බසින් සේවා සැපයීමට හැකි කාර්යමණ්ඩලයක් සමඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ආරම්භ කිරිමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් පිරිසක් ඊයේ දින (18) අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාවේදීම අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබීය.
ඒ අනුව අදාල කාර්යාලය පිහිටුවීමට නිසි පියවර ගන්නා ලෙසට එම කටයුතු ලබන වසරේ මුල් දින හත තුලදී අවසන් කළයුතු බවද අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.
මෙරට සෑම පුරවැසියෙකුටම තම මව් බසින් කඩිනම් සහ මිත්‍රශීලි සේවාවක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැපවී කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා සිය තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුමට එක් වූ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“විදේශ රැකියා සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශාල පිරිසක් විදේශගත වෙනවා. ඒ අයට තමන්ගේ ප්‍රශ්නයක් විසඳ ගන්න කොළඹට හෝ, නුවරට හෝ බදුල්ලට එන්න සිදුවෙනවා. එහෙම දුරක් ගෙවාගෙන ආවත් අපේ භාෂා දැනුම නොමැති නිසා කාර්යාලවල ඉන්න නිලධාරීන්ට මේ පිරිස සමඟ සන්නිවේදනය කරගන්න විදිහක් නැහැ.
අද උදෑසන මම සහභාගී වුණ වැඩසටහනකදී ඊට පැමිණ සිටි දරුවන් මේ කාරණය ඉතාම වේදනාවෙන් කිව්වා. ඔවුන් ඇත්තටම වේදිකාව උඩ උද්ඝෝෂණයක් කළා. එහි තිබුන බෝඩ් අතර බෝඩ් එක්ක තිබ්බා නුවරඑළියට විදේශ සේවා නියුක්ති කාර්යාශංයේ කාර්යාලයක් ලබා දෙන්න කියලත්.
මම ඒ දරුවන්ට පොරොන්දු වුනා, ලබන වසරේ ජනවාරි මාසයේ දින හතක් යන්න කලින් දෙමළ භාෂාව කතා කරන නිලධාරීන්ගෙන් සමන්විතව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නුවර එළියට ලබාදෙනව කියලා.″
මේ වන විට මෙරටින් විදේශ රැකියා සඳහා පිටත්ව යෑම විදිමත් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා විදේශ රැකියා නියෝජිත ආයතන නියාමනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.
ඒ අනුව මෑත කාලයේදී විදේශ රැකියා නියෝජිත ආයතන 400ක බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් තවත් නියෝජිත ආයතන 200කට වැඩි ප්‍රමාණයක් පූර්ණ කාලීනව තහනම් කර ඇති බවද සඳහන් කලේය.
මේ අතර ජපානයේ සහ ඊශ්‍රායලයේ විදේශ රැකියා සඳහා බාහිර පාර්ශවයන්ට මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන බවද හෙතෙම පැවසීය.
ඒ අනුව ඇතැම් ජාවාරම්කරුවන් විවිධ මිල ගණන් වලට ජපානයේ විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවට කරනු ලබන ප්‍රකාශ ව්‍යාජ බවද සඳහන් කළේය.
මේ අතර පසුගියදා ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විවෘත වූ රැකියා දස දහස සඳහා කිසිඳු පාර්ශවයකට මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන බවද එහිදී යම් කිසි පාර්ශයකට මුදල් ගෙවා ඇති බවට යමෙකු විදේශ ගතවීමෙන් පසුව අනාවරණය වුවත් ඔවුන් යලි දිවයිනට ගෙන්වා ගැනීම අදාල පියවර සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය සමඟ මේවන විටත් එකඟතාවයකට පැමිණ ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටක් ප්‍රකාශ කළේය.