තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්වය සරල කෙරේ

    5 ශිෂ්‍යත්වය සරල කෙරේ

    5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    එළඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත අතර ඒ යටතේ මෙම පියවර ද ගැනීමට තීරණය කර ඇත.

    එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබාදෙන බව අමාත්‍යවරයා කීය

    2023 වර්ෂයේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් සහ 2022 වර්ෂයේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළම ලකුණු ලබාගත් සිසුන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

    මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේ දී විභාගවලින් ලකුණු සියයට සියයක් ගැනීම මත පමණක් සිසුන් ඇගයීම සිදු නොකරන බවයි.

    සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුළ පන්ති කාමරයේ දී සිදුකරන ඇගයීම්වලින් 30% ක් ලකුණු ලබාගත යුතු බවත්, මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    මෙහි දී ගුරුවරුන් පක්ෂග්‍රාහී ව කටයුතු කරනු ඇති බවට ඇතැම් දෙමව්පියන් විවේචන එල්ල කළ හැකි බව ද, එහෙත් එවැනි තත්වයන්ට ඉඩක් නොමැති බව ද, සියල්ලට පෙර දෙමව්පියන් සහ සිසු දරුවන් අතර ගුරුවරුන් කෙරෙහි පැහැදිලි විශ්වාසයක් ගොඩනංවා ගැනීම වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය,

    පාසල් තුළ පන්ති කාමරවල සිසුන් ඇගයීමට ලක්‍කරන අයුරු පාසල් මණ්ඩල මගින් අධීක්ෂණයට ලක්කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දේ.

    හොඳම අධ්‍යාපනයක් ඇති රටක් ලෙස පිළිගැනෙන ෆින්ලන්තයේ පවා 9 ‍වැනි ශ්‍රේණිය තෙක් පාසල්වල යොදාගනු ලබන්නේ පන්තිකාමර මට්ටමින් කෙරෙන ඇගයීම් පමණක් ‍බව ද එරට පාසල් සිසුන් විභාග මගින් ඇගයීමට ලක්කරනු ලබන්නේ 9 ශ්‍රේණියේ සිට බව ද පැවසීය.

    මෙහි දී 2022 වසරේ පවත්වන ලද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු දිවයිනෙන් ම වැඩිම ලකුණු ලබාගත් සිසුන් සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුන් 20 දෙනෙකු ඇගයීමට ලක්කරන ලදී.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img