මුල් පිටුව උණුසුම් පුවත් ‘බිපාර්ජෝයි’ සැර වෙයි -අරාබි මුහුදට යන්න එපා

‘බිපාර්ජෝයි’ සැර වෙයි -අරාබි මුහුදට යන්න එපා

0

අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රාවලට ‘බිපාර්ජෝයි’ සුළි කුණාටුව හේතුවෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.

උතුරු අක්ෂාංශ 07 – 17 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 60 – 70 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර ‘බිපාර්ජෝයි’ ලෙස නම් කර ඇත.

එම පද්ධතිය ඊයේ(06) දින රාත්‍රී 11.30 වනවිට උතුරු අක්ෂාංශ 12.5ත් නැගෙනහිර දේශාංශ 66.0ත් ආශ්‍රිතව ස්ථානගතව පැවතී ඇත.

‘බිපාර්ජෝයි’ සුළිකුණාටුව ඉදිරි පැය 06 තුලදී චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ඉදිරි පැය 24 තුල මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 07 ත් 17 ත් සහ නැගෙනහිර දේශාංශ 60 සහ 70 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 70-80 පමණ වන අතර විටින් විට පැ.කි.මී. 90-100 පමණ දක්වා වැඩිවිය හැක.

ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර විටින් විට දළ රළු වේ. එසේම, තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති විය හැක.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version