මේ දිනවල පවතින අධික උණුසුමෙන් ඇතිවිය හැකි විජලනය වළක්වාලීම සඳහා සෑම පුද්ගලයකුම පැය භාගයකට වරක් වත් ජලය මිලිලීටර් දෙසීයක පමණ ප්‍රමාණයක් පානය කළ යුතු යැයි කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
සෑම පුද්ගලයකු ම තමාට ජල පිපාසය ඇති වීමට පෙර හිතාමතා ම සෑම පැය භාගයකට වරක් ජලය පානය කිරීමටත් ඊට අමතරව දියර වර්ග හැකි තරම් පානය කිරීමටත් පියවර ගත යුතු බවද එමගින් විජලනය වළකාගත හැකි බවද ඔහු සඳහන් කළේය.
වැඩබිම්වල එකදිගට වැඩකරන කම්කරුවන් සෑම පැය භාගයකට වරක්ම සෙවණ සහිත ස්ථානයකට ගොස් විවේක ගත යුතු බවද එක දිගටම පැය ගණන් අව් රශ්මියේ වැඩ කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බවද රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.
ඊට අමතරව පාසල් දරුවන් උෂ්ණත්වයෙන් බේරා ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍යමය පුරුදු උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට යවා තිබෙන බවද ඔහු සඳහන් කළේය.