මුල් පිටුව උණුසුම් පුවත් හම්බන්තොට වරායෙන් තරුණ තරුණියන්ට වැඩි අවස්ථා

හම්බන්තොට වරායෙන් තරුණ තරුණියන්ට වැඩි අවස්ථා

0

‘යන්ග් ෂිප් ශ්‍රී ලංකා’ (YoungShip Sri Lanka) සංවිධානයේ නියෝජිතයින් 57 දෙනෙකුගේ කණ්ඩායමක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් වාහන ප්‍රතිනැව්ගත කිරීමේ (RORO) අංගනය, ගබඩා පහසුකම් සහ පර්යන්ත සංකීර්ණය නැරඹමින් වරාය පහසුකම් පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබාගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.

ලාභ අරමුණු කර නොගත් වෘත්තිමය ජාත්‍යන්තර සංවිධානයක් වන ‘යන්ග් ෂිප්,’ සමුද්‍ර කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවය කරන තරුණ තරුණියන් සඳහා විශේෂයෙන් ස්ථාපිත කරන ලද්දකි. සයිප්‍රසය, ග්‍රීසිය, බෙල්ජියම, ඩෙන්මාර්කය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්වීඩනය, ෆින්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, ඇමරිකාව, ජර්මනිය, නයිජීරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ටැන්සානියාව, තුර්කිය, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ව්‍යාප්ත වී ඇති සංවිධානය, ලොව වටා සාමාජිකයින් 3000කට වඩා වැඩි පිරිසකගෙන් මෙම සංවිධානය පොහොසත්ය.

නාවික සහ සැපයුම් අංශයේ වර්ධනය සහ සාර්ථකත්වය රැඳී තිබෙන්නේ කර්මාන්තය පිළිබඳ උද්යෝගීමත් තරුණ පරපුර මත බව විශ්වාස කරන සිසුන් හා වෘත්තිකයන් ‘යන්ග් ෂිප්’ හි සාමාජිකත්වය දරන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය බලධාරීන් සඳහන් කරයි. ‘යන්ග් ෂිප් ශ්‍රී ලංකා’ නියෝජිතයන් ලෙස බඳවා ගන්නේ නාවික සහ සැපයුම් අංශයට සම්බන්ධ වයස අවුරුදු 20ත් 40ත් අතර තරුණ පිරිසය.

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි වර්ධනය, වත්මන් ව්‍යාපාර කටයුතු, මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ කර්මාන්ත උද්‍යානය පිළිබඳව දැනුවත් කිරීමක් මෙහිදී වරාය බලධාරීන් කරමින් වරායේ ක්‍රියාත්මක ආරක්ෂක ක්‍රියා පටිපාටීන් සහ පියවරද ‘යන්ග් ෂිප් සාමාජිකයන් සමඟ සාකච්ඡාකර තිබේ.

“ප්‍රතිපත්තියක් වශයෙන්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ,තරුණ තරුණියන්ට අපගේ ක්ෂේත්‍රය තුළ විශාල අවස්ථා සළසා දෙනවා. අපගේ පුහුණු වැඩසටහන් යටතේ පසුගිය වසර පහ තුළ උපාධිධාරීන් බොහෝ ප්‍රමාණයක් සේවා පළපුරුද්ද ලබා ඇත. අපගේ කාර්ය මණ්ඩලයෙන් 30%කට වැඩි ප්‍රමාණයක් නවක උපාධිධාරීන් වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 34කි. එමෙන්ම HIP කාර්ය මණ්ඩලයෙන් 90%ක් ම ශ්‍රී ලාංකිකයන් වේ. බහු කාර්යය වරායක් ලෙස, වාහන ප්‍රතිනැව්ගත කිරීම (RORO), සාමාන්‍ය භාණ්ඩ, නැව් වලට ඉන්ධන සැපයීම, තොග පර්යන්තය, ඉන්ධන සහ ගෑස්, කර්මාන්ත අමු ද්‍රව්‍ය සහ මගී නැව් කටයුතු වැනි විවිධ සේවාවන් පිලිබඳ ‘යන්ග් ෂිප්’ සාමාජිකයන් දැනුවත් කිරීමේ අවස්ථාව අප වැදගත් කොට සළකනවා. මෙම ක්ෂේත්‍රයේ නොයෙකුත් අංශ ඔස්සේ ‘යන්ග් ෂිප්’ තරුණ සාමාජිකයින් සමඟ නැවතත් සම්බන්ධවනු ඇතැයි අප විශ්වාස කරනවා,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර මහතා මෙහිදී සඳහන් කළේය.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන සැලැස්ම ඉතා සිත්ගන්නාසුලු බව මෙහිදී ‘යන්ග් ෂිප් ශ්‍රී ලංකා’ හි සභාපති රිශාන්ත මෙන්ඩිස් මහතා සඳහන් කළේය. 2018 වසරේ තම සංවිධානය හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සිදු කළ සංචාරයෙන් පසු අද වන විට වරාය තව දුරටත් දියුණු වී ඇති බව පෙනී යනබවත් වරායේ ඉදිරි සංවර්ධන කටයුතු දැක බලා ගැනීම සඳහා ඉදිරියේදීත් වරායේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version