මුල් පිටුව උණුසුම් පුවත් තෛපොංගල් දිනය අදයි

තෛපොංගල් දිනය අදයි

0

ලෝ වැසි සියලූම හින්දු ජනයා විසින් සමරනු ලබන තෛපොංගල් උත්සවය අදයි.

සෞභාග්‍යයේ සළකුණක් ලෙස සළකමින්උ ‘උතුරා යාම, පිටාර ගැලීමයි’ යන අර්ථයෙන් යුතුව පොංගල් යන දමිළ වචනයේ අදහසින් මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම ද අද සිදු කරයි.

මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිලි ආදියෙන් හිරු දෙවියන් පිදීමෙනි.

හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරයි.

මෙම උත්සවය සෞභාග්‍යය සහ තුතිපිදීම හා බැදී පවතින්නකි.

තම අස්වැන්න සරු විමට උපකර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලැබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු ජනතාවගේ මෙම සැමරුම වෙනුවෙන් නිකුත් කළ තෛපොංගල් දින පණිවිඩය පහත දැක්වේ.

“ලොව පුරා වෙසෙන දමිළ ජනතාව විසින් බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන එක් කරන්නේ මහත් සතුටිනි.

කෘෂිකර්මාන්තය හා බැඳුනු ‍තෛපොංගල් උත්සවයේ දී සරු අස්වැන්නක් හා යහපත් බලාපොරොත්තු වෙනුවෙන් අඛණ්ඩ ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදු කරයි.

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කරමින් ස්වයංපෝෂිත රටක් ගොඩනැඟීමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අවස්ථාවක් ලෙස ද මෙවර තෛපොංගල් උත්සවය සැලකිය හැකිය.

කෘෂිකර්මාන්තයේ නවීකරණය කෙරෙහි රජය පුළුල් අවධානයක් යොමු කර තිබෙන අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරිත්වයට ගැළපෙන, තාක්ෂණය මත පදනම් වූ ඵලදායී තිරසාර සහ ලාභදායි කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපේක්ෂාවයි.

රජයේ මෙම නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ ‍වැඩපිළිවෙළට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට එක්වන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් වූ මෙම තෛපොංගල් දිනයේ දී මම සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

අටුකොටු සරු වී, දිළිඳුකම තුරන් වී, සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනය කරන අතර ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දමිල ජනතාවට සෞභාග්‍යමත් සුබ තෛපොංගල් සැමරුමක් වේවායි සුභාශිංසනය කරමි.”

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version