පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන ලබන නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පස්වරු 3.30 ට පැවැත්වේ.
මෙම නව සන්ධානය ‘නිදහස් ජනතා සන්ධානය’ යනුවෙන් නම් කර ඇති අතර, එහි ලකුණ ‘හෙලිකොප්ටරය’ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා පවසයි.
මෙම නව සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්‍ෂ මෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් ද නියෝජනය කරන බව ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට නව සන්ධානය නියෝජනය කරන පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් පමණ සහභාගීවීමට නියමිත බව ද වාර්තාවේ.