මුල් පිටුව special යුක්‍රේන නත්තල් සීයාගේ ප්‍රහාරයෙන් රුසියානු සොල්දාදුවන් මැරුණේ මොබයිල් ෆෝන් නිසාලු (📹)

යුක්‍රේන නත්තල් සීයාගේ ප්‍රහාරයෙන් රුසියානු සොල්දාදුවන් මැරුණේ මොබයිල් ෆෝන් නිසාලු (📹)

0

නව වස‍ර උදාවත්ම යුක්රේන මිසයිල ප්‍රහාරයකින් සිය සොල්දාදුවන් අවම වශයෙන් 89 දෙනෙකුට මරු කැඳවූයේ තම හමුදා භටයන් තහනමද නොතකා ඔවුන්ගේ ජංගම දුරකථන භාවිතා කිරීම නිසා බව රුසියාව පවසයි.

ජනවාරි 1 වැනි දින මධ්‍යම රාත්‍රිය එළැඹී ටික වේලාවකට පසු, රුසියානු හමුදා අත්පත් කරගෙන සිටි ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ, මැකීව්කා හි බලහත්කාරයෙන් බඳවා ගැනීම් සිදුකරන විද්‍යාලයකට යුක්රේනය පහර දී තිබුණි.

රුසියානු සොල්දාදුවන්ට දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇත්තේ සතුරාට තම ඉලක්කය සොයා ගැනීමට හැකි වන නිසා නමුත් මෙහිදී එම තහනම නොතකා තම සොල්දාදුවන් දුරකතන භාවිත කර තිබී ඇති බව රුසියානු හමුදාව දැන් පවසයි.

මියගිය පුද්ගලයින් සංඛ්‍යාව නිසැකවම හෙළිව නොමැති අතර, එය යුකේන-රුසියා යුද්ධයේදී රුසියාව විසින් පිළිගත් විශාලතම මරණ සංඛ්‍යාව බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරයෙන් රුසියානු සොල්දාදුවන් 400 ක් මියගිය අතර තවත් 300 ක් තුවාල ලැබූ බව පවසමින් යුක්රේනය කියා සිටින්නේ මෙම සංඛ්‍යාව බෙහෙවින් ඊටත් වැඩි බවයි. නමුත් රුසියාව එය සියයට අඩු අගයක් බව පවසා ඇත.

“රුසියානු හමුදා විසින් අල්ලාගෙන සිටි මැකිව්කා වෙත ගෙනැවිත් වෘත්තීය පාසලේ හිරකරගෙන ඉන්න බෙදුම්වාදීන්ට සහ බලහත්කාරයෙන් බඳවා ගත් අයට සුබ පැතුම් සහ සුබාශිංසන පතනවා. ‘නත්තල් සීයා [රුසියානු සොල්දාදුවන්ගේ] මළ සිරුරු 400ක් පමණ බෑග්වල ඇහිරුවා’ යනුවෙන් යුක්රේනයේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රහාරය සාර්ථක වීමෙන් පසු පවසා තිබුණි.

මෙම ප්‍රහාරයෙන් පසුව ටෙලිග්‍රෑම්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් ආදී සමාජ ජාල තුළ යුක්රේන හමුදා පුවත්, වීඩියෝ පළකරන ගිණුමක් මගින් නත්තල් සීයා ලෙස සැරසුණු මිග් ප්‍රහාරක යානා ගුවන් නියමුවකු, පසුබිමින් වාදනය වන නත්තල් ගීතයක් මුමුණමින් MiG-29 ප්‍රහාරක ගුවන් යානයක් පදවන ආකාරය වීඩියෝවක් මුදාහැර තිබේ.

මෙම වීඩියෝව සමඟින් මුදාහැර තිබූ සටහනේ දැක්වුණේ ‘යුක්‍රේන ගුවන් හමුදාවේ MiG-29 යානය මගින්, එක්සත් ජනපදය විසින් ඒකාබද්ධ කරන ලද AGM-88 HARM, ගුවනේ සිට මතුපිටට එල්ල කරන විකිරණ නාශක මිසයිල යුගලයක් සමඟ, ස්ථාවර සතුරු ගුවන් ආරක්ෂක මර්දන (SEAD) ප්‍රහාරයක් එල්ල කරන ආකාරය. MiG අභ්‍යන්තර දෘඪ ලක්ෂ්‍යවල AGM-88 දෙකකින් සහ පිටත දෘඩ ලක්ෂ්‍යවල R-73 කෙටි දුර මිසයිල දෙකකින් සන්නද්ධ වේ.’ යනුවෙනි.

“මම කවදත් දැනගෙන හිටියා නත්තල් සීයා අධිවේගයෙන් හිමකරත්ත පියාසර කරවන්න ප්‍රවීනයෙක් බව, නමුත් නත්තල් සීයාත් MIG-29 පියාසර කරන්න දන්නවා කියලා කවුද දන්නේ? නත්තල් සීයා වැඩ ගොඩක් කරන්න පුළුවන් පුදුම කෙනෙක්නේ’ නරඹන්නෙකු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ එසේ ය.

‘ukraine_defence’ විසින් පළ කරන ලද, වීඩියෝවක නත්තල් සීයා ලෙස සැරසී සිටින යුක්‍රේන ගුවන් නියමුවෙකු එක්සත් ජනපද ඒකාබද්ධ AGM-88 HARM මිසයිල යුගලයක් සමඟ ප්‍රහාරයක් එල්ල කරන අයුරු පෙන්වූ වීඩියෝව පහතින් දැක්වේ.

Video Courtesy: ukraine_defence

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version