මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකාවේ මිලියන 7කට ආධාර ඕනෑ -දරුවන් මිලියන 2ට වැඩියි

ශ්‍රී ලංකාවේ මිලියන 7කට ආධාර ඕනෑ -දරුවන් මිලියන 2ට වැඩියි

0

ශ්‍රී ලංකාවේ මිලියන 7 කට පමණ පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.

මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් පසුගියදා (18) නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ බහුමාන අර්බුද පිළිබඳ නවතම තත්ත්ව වාර්තාවේ මේ බව දැක්වේ. ලෝක ආහාර වැඩසටහන, යුනිසෙෆ් සංවිධානය ආදි ආයතන ගණනාවක දත්ත ඇසුරින් මෙම වාර්තාව සකස් කර ඇත.

මෙම වාර්තාවට අනුව මෙරට පවුල්වලින් 32% කට දැන් ආහාර අනාරක්ෂිත ය.

එහි දැක්වෙන පරිදි මෙරට දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 56,000ක් ඇතුළුව, ආසන්න වශයෙන් ළමුන් මිලියන 2.3කට මානුෂීය ආධාර අවශ්‍ය වේ.

එම වාර්තාවට අනුව මේ වනවිට මෙරට පවුල්වලින් 68% ක් කැමති ආහාර අඩුවෙන් ගැනීම, ආහාර ප්‍රමාණය අඩුකිරීම සහ ආහාර වර්ග ප්‍රමාණය අඩු කිරීම වැනි ආහාර මත පදනම් වූ විකල්පයන් වෙත යොමු වෙමින් සිටිති.

ලෝක ආහාර වැඩසටහනේ (WFP) වෙළෙඳපොළ ක්‍රියාකාරීත්ව දර්ශකයට අනුව මෙරට, වෙලඳපොලවල භාණ්ඩ මිල නිතර වෙනස් වීම සහ භාණ්ඩ නොමැතිකම ද ඊට බලපා තිබේ.

එක්සත් ජාතීන්ගේ ආයතන, අරමුදල් සහ වැඩසටහන් සහ ක්‍රියාත්මක කරන හවුල්කරුවන් මෑතකදී ඔවුන්ගේ මෙරට මැදිහත්වීම් වේගවත් කර ඇත.

මානුෂීය ආධාර අවශ්‍ය කර ඇති මෙරට මිලියන 7ක ජනතාව අතුරින් වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් මිලියන 3.4ක් ඉලක්ක කරගනිමින් එම අරමුදල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ‘මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්ම (HNP)’ මේ වසර අවසානය තෙක් දීර්ඝ කර තිබේ.

දැනට මිලියන 1.2 ක් පමණ වන පුද්ගලයින් සංඛ්‍යාවට ආධාර ළඟාවී ඇති නමුත් ඉදිරි සති කිහිපය තුළ දී අවශ්‍ය පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නොවැම්බර් මාසයේදී පමණක් දිස්ත්‍රික්ක පහක පුද්ගලයන් 400,000කට ආසන්න වශයෙන් ආහාර මෙට්‍රික් ටොන් 7,398ක් බෙදා හැරීම WFP හි අරමුණයි.

මීට අමතරව, දිවයින පුරා පිහිටි පාසල් 7,900ක් හරහා දළ වශයෙන් මිලියනයකට ආසන්න ළමුන්ට මාස තුනක කාලයක් සඳහා පාසල් ආහාර ලැබෙනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසා තිබුණි. එමෙන්ම එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි එම ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

2022 ඔක්තෝම්බර් සිට 2023 ජනවාරි දක්වා ජගත් ආහාර හා කෘෂිකර්ම සංවිධානය /ලෝක ආහාර වැඩසටහනේ Hunger Hotspots වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව “ඉහළ අවධානයක් දක්වන ස්ථානයක්” ලෙස ලැයිස්තුගත කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version