මුල් පිටුව උණුසුම් පුවත් 21 න් පණ ලබන පොලිස් කොමිසම

21 න් පණ ලබන පොලිස් කොමිසම

1

නාමික කොමිසමක් බවට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත්කර තිබුණු ජාතික පොලිස් කොමිසමට 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නැවත පණ ලැබීම ගැන පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් වූ නිලධාරීන් සිය සතුට පළකරති.

දේශපාලන බලපෑමෙන් පොලීසිය නිදහස් කිරීමේ අරමුණින් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කළ ජාතික පොලිස් කොමිෂන් සභාව 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නැවත නාම මාත්‍රික කොමිසමක් බවට පත්කරනු ලබන්නේ දේශපාලන අණසක යටතේ පොලීසිය තබා ගැනීම වෙනුවෙනි. ඒ අනුව පොලිස් කොමිසමේ බලය බිද රාජ්‍ය සේවා කොමිසමට වැඩි බලතල එම ව්‍යවස්ථා සංශෝධනයෙන් බෙදී ගියේය.

නැවතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස් කොමිසම සක්‍රීය කරනු ලැබීය. ඒ යහපාලන ආණ්ඩුව පැවති සමයේදීය. එවිට රාජ්‍ය සේවා කොමිසමේ ගොඩ ගැසී තිබුණු පොලීසිය සම්බන්ධ ලිපි ගොනු කාමරයක් පිරෙන්නට ජාතික පොලිස් කොමිසමට භාර කර තිබුණි. එම ලිපි ගොනු පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් ස්ථාන මාරුවීම් විනය කරුණු සම්බන්ධයෙන් වූ ඒවාය. ඇතැම් ලිපි ගොනුවලට වසර ගණනාවක් තිස්සේ අතවත් තබා නැති බව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඒ ගැන කළ සොයා බැලීමේදී එකල අනාවරණය විය.

නැවතත් ආණ්ඩු පෙරලියත් සමඟ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා පොලිස් කොමිෂන් සභාව නාම මාත්‍ර කොමිසමක් බවට පත්කරනු ලැබීය.

21 වන සංශෝධනයෙන් නැවතත් පොලිස් කොමිෂන් සභාව බලාත්මක කර ඇත්තේ පොලීසිය නැවතත් දේශපාලන ග්‍රහණයෙන් මුදා ගනිමිනි. පොලිස් නිලධාරීන් රැසක්ම newswave වෙත සඳහන් කරනු ලැබුවේ රාජ්‍ය සේවා කොමිසමට තමන්ට දුක් ගැනවිල්ලක් වත් ඉදිරිපත් කිරීමට කොමිසමේ නිලධාරීන් හමුවීමට ඉඩක් නොලැබුණු බවය. හැම දෙයක්ම සිදුවූයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවශ්‍යතා මත බවත් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිවුණු පළමු පොලිස් කොමිසමේ සභාපතිවරයාව සිටි ජනාධිපති නීතීඥ රංජිත අබේසූරිය වැනි සභාපතිවරයෙක් අලුත් කොමිසමට පත්වවන්නේ නම් බොහෝ බලා පොරොත්තු තබා ගැනීමට හැකිවනු ඇති බවය.

කුමාර ජයවර්ධන

1 Comment

  1. ඔය කොයි කොමිසමෙනුත් වැඩක් නැහැ දූශිත රාජ්ය සේවකයෝ දැම්මොත්. කොන්ද පන තියෙන ලේකම් ලා පත් කරන්න ඕනෑ.නැත්නම් ඉන්න පොලිසියේ ලොකු උන් අල්ලගෙන පොඩි උන්ට වැඩක් වෙන්නේ නැහැ. ඒ හන්දා ඕවට පත් කිරීම් සියල්ල ස්වාදීන වෙන්න ඕනෑ. පොලිසියේ කිසිම කෙනෙක්ට කොමිසම එක්ක සම්බන්දකම් තියෙන්න බැහැ.නැත්නම් එතන වෙන්නේ දෙපාර්තමේන්තුවේ උන්ට ඕනෑ දේවල්.ගිය සැරේ කොමිසමෙනුත් බහුතරයක් පොඩි අයට වැඩක් වුනේ නැහැ.

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version