මුල් පිටුව උණුසුම් පුවත් ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමක් ගැන ජනපතිගෙන් ඉඟියක්!

ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමක් ගැන ජනපතිගෙන් ඉඟියක්!

0

ඉදිරි කාලයේදී ලෝකයේ ඉන්ධන නිෂ්පාදන හා සැපයුම් තත්ත්වය මත මෙරට තුළද ඉන්ධන මිල ඉහළයාමක් සිදුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වසරේ අග සහ ලබන වසරේ මුල් කාලයේදී ලෝකයේ ඉන්ධන නිෂ්පාදනයේ පහළයාමක් පිළිබඳ අනාවැකි පළවී ඇති බැවින් එසේ වුවහොත් දකුණු ආසියානු රටවලට ගෝලීය උද්ධමනයේ බලපෑම වැඩිවශයෙන් ඇති විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන අතරතුර පවසා සිටියේ මේ හේතුවෙන් ඉන්ධන මිල මෙරට ජනතාවට දරාගත හැකි පරිදි රඳවා ගැනීමට දැන් සිටම සැලසුම් සකස් කළ යුතු බවය.

ජනාධිපතිවරයා විසින් අද දින පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශයට විවාදයක් ලබාදෙන බවට ද සභානායකවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ දී ඉදිරි කාලයේ ඉන්ධන මිල පිළිබඳ මෙසේ කරුණු දැක්වීය.

“ඉදිරි දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාස වෙද්දී ඉන්ධන නිෂ්පාදනයේ පහළයාමක් පිළිබඳ පුරෝකථනය වී තිබෙනවා. ඊයේ මං හිතන්නේ ඔපෙක් සංවිධානයත් ප්‍රකාශ කළා තමන්ගෙ නිෂ්පාදනය අඩු කරන්නට යනවා කියලා. ඒ නිසා සිදුවෙන්නේ යුරෝපයේ දියුණු රටවල් ශීත කාලයට මේ ඉන්ධන මිල දීලා ගන්න. එකක් ඉන්ධන වෙළදපොලේ අඩුවක් තියෙනවා ඒකෙන් වැඩි ප්‍රමාණයක් මේ රටවල් මිලදී ගන්නවා. එතකොට සිදුවෙන්නේ ලංකාව වැනි රටවලට ඉන්ධන මිල තවත් වැඩි වෙනවා. විශේෂයෙන්ම මේ නිසා ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියානු රටවල් ගණනාවකට ඒකට මුහුණ දෙන්න තියෙනවා ගෝලීය උද්ධමනය. global inflation is going to hit us, all of us next year. ඉන්ධන මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමකට රඳවා ගැනීමට අප දැන් සිටම සැලසුම් කළ යුතුය.

මා මෙහිදී තවත් වැදගත් කරුණක් අවධාරණය කරන්න කැමතියි. ඔබ සියලු දෙනා විවිධ දේශපාලන අදහස් දරන අය. නමුත් ඔබගේ දේශපාලන අරමුණ ඉෂ්ඨ සිද්ධ කර කරගන්න පුළුවන් වෙන්නේ මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ආවොත් පමණයි. මම මේ ගමන් මගට අවතීර්ණ වුණේ අවදානමක් රැගෙන විපක්ෂයේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් මේ අවදානම භාර ගත්තේ නැති අවස්ථාවක. රට වෙනුවෙන් මම අවදානම භාර අරන් අනතුරුදායක ගමනක් යන්න පටන් ගත්තා. අප හිමින් හිමින් වගේම ස්ථාවරය මෙතෙක් ඉදිරියට ආවා. අපේ බහුතරයක් ජනතාව මේ ගමනට අවශ්‍ය සහාය දෙන බව අපි දන්නවා. ඔවුන්ට අවශ්‍ය යහපත් ජීවිතයක් . යහපත් රටක් යහපත් අනාගතයක්. හැබැයි එහෙම අවශ්‍ය නැති අයත් ඉන්නවා. රට දවසින් දවස විනාශයට පත් කරලා අර්බුදයට පත් කරලා දේශපාලන වාසි ලබාගන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා ඒ අය හැමදෙනාම වැරදි විදියට දකිනවා. මේ සමහර කණ්ඩායම් ලෝකයේ දශක ගණනාවකට කලින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගළපන්න වෙහෙස වෙනවා. ඒ කාලයේ යම් යම් දේශපාලන කණ්ඩායම් කිව්වේ පන අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතය බේරගන්න එපා කියලා. හාමතේ මැරුණාට පස්සේ මිනිහෙක් අර තියාගෙන රට වටේ යන්න කියලා.’ මේ න්‍යාය අදටත් ආදේශ කරන්න සමහර කණ්ඩායම් වෙහෙස වෙනවා. පණ අදින ආර්ථිකයට හුස්ම පිඹින සහයෝගය නොදී ආර්ථිකය අවසන් හුස්ම හෙළන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ මිය යන තත්ත්වයට පත් වුණොත් මළ කඳන් මතින් බලයට පත් වීමට හැකි වන බවයි. අනතුරුව ඉතිහාසය පුරා ලෝකයේ කොහෙවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව විතරක් මම මේ අවස්ථාවේ පෙන්වා දෙන්න කැමතියි. ඒ විදියට බලය ලබා ගත්තත් ඒවා කියලා වර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදියට..”

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version