මුල් පිටුව උණුසුම් පුවත් ජපාන -පිලිපීන සංචාරයට ජනපති හෙට පිටත් වෙයි

ජපාන -පිලිපීන සංචාරයට ජනපති හෙට පිටත් වෙයි

0

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

සිය දෙදින ජපාන නිල සංචාරයේ දී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවන අතර ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමග ද ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේවීර සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම සංචාරයට එක්වේ.

ජනාධිපතිවරයාගේ පිලිපීන නිල සංචාරයට මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එක්වීමට නියමිතය.

එමෙන්ම පිලිපීන නිල සංචාරය සඳහා දිනුක් කොළඹගේ සහ රන්දුල අබේවීර යන මහත්වරුන් සහභාගී නොවනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version