මුල් පිටුව special පැත්තක් බලන්න අපිව බලන්න එපා

පැත්තක් බලන්න අපිව බලන්න එපා

0

තමන් ඉන්න පැත්ත දිනනවා බලන්න හැමෝම ආසයි. ඒ ආසාවේ කෙළවර තියෙන්නෙ තවත් සමහරු ඒ පැත්ත පරදිනවා බලන්න ආසවෙන එක. එතැනදි ඔවුන් කැමැති ඔවුන් නියෝජනය කරන පැත්ත දිනන එකට. මේ එකකටවත් නෑ කියලා ඉන්න අයත් මේ එක පැත්තකට හරි අයිතියි. ඔන්න ඔය වෙන දෙයක් වුණාවේ කියලා ඉන්න අයත් මේ එක පැත්තකට හරි අයත් වෙනවා.

දේශපාලනිකව ගත්තම පාක්ෂිකයන් කැමති තමන්ගෙ පක්ෂය දිනනවා බලන්න. තමන්ගෙ නායකයා දිනනවා බලන්න. කැරැල්ලක් අරගලයක් ගත්තමත් එහෙමයි. හැම තැනම මේ තත්ත්වය ඉතා ගැඹුරෙන් බැලුවම හොඳින් තේරුම් ගන්න පුළුවන්.

ලංකාව වගේ ආර්ථිකය කඩා වැටුණු රටක මේ තත්ත්වය තවත් උත්සන්න වෙනවා. හැමෝම කැමති තමන්ගෙ මතවාදය අවසානයේ ජයගත්තා කියන තැනට ගේන්න. අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ කියන විදියේ වචන හෝ ඒවා කියන අය දැක්කම අප්‍රසන්න හිතුණට මේ පුංචි රටට ඇත්තටම එවැනි කුමන්ත්‍රණයක් තිබෙනවා. එළිපිට නොපෙනෙන මේ කුමන්ත්‍රණය හැමවිටම ජයගන්නෙ කුමන්ත්‍රණකරුවො.

අපේ රටේ දේශපාලනයේ නිරත හැම පක්ෂයකටම ආධාර කරන විවිධ සංවිධාන නියෝජිතයො ඉන්නවා. මේ අය ඒ පක්ෂ විසින් එළිපිට හෙළිකරන්නෙ නෑ. මේ උදව් දෙන හැම කෙනෙක්ම කුමන හෝ රටකට සංවිධානයකට සම්බන්ධයි.

අසල්වැසි ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ පටන් හැම ඔත්තු සේවාවක්ම අපේ රට ගැන ඇල්ම බැල්ම දාගෙන ඉන්නෙ. සන්නද්ධ අරගල හදන්නෙත්, ඒවා විසදන්නෙත්, මිනිස්සුන්ට උදව් කරන්නෙත්, නායකයන්ට සුබ පතන්නෙත් මේ අයමයි.

ඉතිං මිනිස්සු බෙදිල්ල ඉංග්‍රීසින් මෙරටින් යන්න කලින් කරපු විදියට වඩා හොඳ විදියට දැන් සිද්ධවෙනවා. මිනිස්සු මේක දන්නෙ නෑ. පාලකයො එක් අයෙක් යනවිට ජනතාව අනෙක් පාලකයා තෝරනවා. ඒත් මේ රට ස්ථාවර වෙන්න දෙන්නෙ නෑ. පත්වන පාලකයන්ට දූෂිත මිත්‍ර සමාගම් ඇතිවෙනවා. අනෙක් අතට මේ අයම ඒවා නිර්මාණය කරලා දෙනවා.

රහ වැටුණු මිනිහෙක් ලේසියෙන් ඒ රහෙන් අයින් වෙන්නෙ නෑ. ඒ වගේ තමයි අල්ලස දූෂණයට හුරුවුණු හිත් එතැනින් ඉවත් වෙන්නෙ නෑ. අපි කොච්චර කිව්වත් සත්‍ය එයයි. එහෙම නැතිව ඒ අයට පැවැත්මක් නෑ. මේ තත්ත්වය දේශපාලනයේ ඉඳන්, රාජ්‍ය සේවයේ ඉඳන් හැම තැනම තියෙනවා. පෞද්ගලික අංශයෙත් තියෙනවා. මේක නැති කරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප, අධ්‍යාපනික වශයෙන්ම වෙනස් විය යුතුයි.

මජර වැඩක්, හොර වැඩක් කරපු අයෙක් දියුණු වෙලා හොඳට ඉන්නකොට, නීතියට ගරුකරන පිරිස හැමදාම පසුගාමී වෙනකොට රටක යහපත් ක්‍රමවේදයක් බිහි වෙන්නෙ නෑ. සිස්ටම් චේන්ජ් ඉල්ලුවට ඒ සිස්ටම් එක චේන්ජ් වෙන්න බිම් මට්ටමේ ඉදන් වැඩ කරන්නෙ නෑ. රට වෙනුවෙන් අරමුණක් ඇතිව දුවන නායකයෝ හොයාගන්න බැරිවෙලා තියෙන්නෙ ඒ නිසයි.

දෙන ගොඩෙන් තෝරාලා හොඳම එක තේරුවට තෝරන්න දෙන ගොඩේ හොඳ අය නැත්නම් හැමදාම සිදුවන්නෙ එකම දෙය මිස අලුත් දෙයක් නෙමෙයි. මිනිස්සු කැමැතියි බලය නහය දක්වා පමණක් එනවට. ඇගිල්ලෙ තරමට පමණක් ඉදිමෙනවාට. එතැනින් එහාට ජනතාව එකම දෙයක් ගැන වුණත් හිතන්නෙ බොහෝ වෙනස් විදියට.

යුද්දෙ කාලේ ඉදන් අපේ රටේ සංවිධාන රැසක් ජීවත් වෙන්නෙ ඒ අරගලයට පිංසිදුවෙන්න. මේ දේට සම්බන්ධවුණ මාධ‍්‍යවේදින් පිරිසකුත් හැමදාම උන්නා අදත් ඉන්නවා. අභාග්‍යකට රටේ ප්‍රතිපත්තියක් නැති නිසා මේ දේවල් එළියට එන්නෙ නැහැ. අරගලය ඉවර වෙනකොට ඒ හා බැඳි සියලු තත්ත්වය සමාජයත් රටත් අමතක කර දමනවා.

අපි ඇජෙන්ඩාවක් ක්‍රියාත්මක කරන මාධ්‍යවේදීන් පිරිසක් නෙමෙයි. “අනේ අත්අඩංගුවට ගන්න. අපට වීරයෝ වෙන්න” කියලා වැඩකරන මාධ්‍ය පිරිසකුත් නෙමෙයි. “රට යන්න ගුටි හරි කන්නම්” වර්ගයේ අයත් නෙමෙයි. ඒ නිසා ප්‍රවෘත්ති බලද්දි සිහිබුද්ධියෙන් ඒවා කියවන්න. අරගලය හෝ රජය හෝ තවත් පක්ෂයක ප්‍රවෘත්ති බලන්නම කියලා අපිව කියවන්න එපා.

කොටින්ම කියනවා නම් පැත්තක් බලන්න අපිව (නිවුස්වේව්) බලන්න එපා !

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version