මාරවිල මූලික රෝහලේ බාහිර රෝගී අංශය ඇතුළු සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවී ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. රාජකාරි කටයුතු සදහා පැමිණීමට ඉන්ධන සපයා ගැනීමට නොහැකි වී තිබීම මෙම තත්ත්වයට හේතුව වී ඇත.
හලාවත,මාරවිල සහ වෙන්නප්පුව ප්‍රදේශ වල සෞඛ්‍ය සේවකයින් සදහා ඉන්ධන නිකුත් කිරීම සදහා හලාවත – කාක්කපල්ලිය, සහ ඉනිගොඩවෙල පිහිටි පිරවුම්හල් දෙකක් වෙන් කර ඇත. පසුගිය 01 වැනිදා කාක්කපල්ලිය ඉන්ධන පිරවුම්හලෙන් ඔක්ටේන් 95 සහ ඉනිගොඩවෙල පිරවුම්හලෙන් ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කිරීම සිදු කරන ලදි.
පසුගිය 07 වැනිදා සවස කාක්කපල්ලිය පිරවුම්හලට ඉන්ධන තොගයක් ලැබී ඇත. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයක් අනුව ජුනි 08 වැනිදා සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන ලදි.
කාක්කපල්ලිය ඉන්ධන පිරවුම්හලේ පොම්ප ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ වන විට මුද්‍රා තබා ඇත. එම මුද්‍රා ඉවත් කර ඉන්ධන නිකුත් කිරීමට අවසර තමන්ට මෙතෙක් ලැබී නොමැති බව කාක්කපල්ලිය ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු අප කළ විමසීමකදී කියා සිටියේය.මේ අතර, ඉනිගොඩවෙල පිරවුම්හලට පසුගිය 01 වැනිදායි අනතුරුව මෙතෙක් ඉන්ධන ලැබී නැත.
මෙම තත්ත්වය අනුව ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයට සේවය සදහා පැමිණීමට නොහැකි බව මාරවිල මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.එම හේතුව නිසා 13 වැනිදා පෙරවරුවේ සිට මාරවිල මූලික රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන කටයුතු සියල්ල නවතා දැමීමට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.හදිසි සේවා කටයුතු පමණක් වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකු විසින් සිදු කරන බවද හෙතෙම කියා සිටියේය.
ඉන්ධන ලැබී සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සේවා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බවද ඔවුන් කියා සිටියේය.
කාක්කපල්ලිය පිරවුම්හලට ලැබී ඇත්තේ සෞඛ්‍ය සේවකයින්ට නිකුත් කිරීම සදහා වන ඉන්ධන බැවින් ඒවා වෙනත් පාර්ශවකට නිකුත් කළ නොහැකි බවත්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් ලද වහාම ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන බව අප කළ විමසීමකදී පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් කීපයකම ගිලන් රථ සේවා කටයුතු වලින් ඉවත් වී සිටින බවක්ද දැන ගන්නට ඇත.