මුල් පිටුව උණුසුම් පුවත් අමෙරිකාවේ ආර්ථික විද්‍යාඥයකුගෙන් ශ්‍රී ලංකාව ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

අමෙරිකාවේ ආර්ථික විද්‍යාඥයකුගෙන් ශ්‍රී ලංකාව ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

0

ශ්‍රී ලංකාවේ අද(23) වනවිට පවතින තත්ත්වය අනුව වාර්ෂික සැබෑ උද්ධමනය 130.14%ක් බව අමෙරික‍ාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්ක් පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මෙරට වාර්ෂික උද්ධමන නිල අනුපාතය වන 39.10% ට වඩා සැබෑ අගය 3 ගුණයකින් වැඩි බවට වන තමාගේ ගණනය කිරීම නිවැරැදි අගය බවයි.

මහාචාර්ය ස්ටීව් හැන්ක් විසින් ලොව වැඩිම උද්ධමනය සහිත රටවල දත්ත රැස්කර ලැයිස්තුගත කිරීමේ වාර්තාවක් මාසිකව සකස් කරන අතර ඒ සඳහා ඒ ඒ රටවල රජයන්හි නිල දත්ත භාවිත කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව ද හෙතෙම පවසා තිබේ.

එමෙන්ම 2022 ජනවාරි 1 වැනිදා සිට ශ්‍රී ලංකා රුපියල 50%කට වඩා අවප්‍රමාණය වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඔහු ශ්‍රී ලංකාවට යෝජනා කළේ වහාම මුදල් මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු බවය.

ශ්‍රී ලංකාවේ 1884 සිට 1950 දක්වා පැවති මුදල් මණ්ඩලය යළිත් මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට සහය වීම සඳහා වහාම අවශ්‍ය බව ඔහු මීට පෙර ද පවසා තිබුණි.

මෙරට ගෙවුණු වසරේ උද්ධමන තත්ත්වය ඔහු විසින් පහත පරිදි දත්ත සටහනක් ඉදිරිපත් කර ඇත.

මහාචාර්ය ස්ටීව් හැන්ක් වොෂින්ටන් ඩීසී හි කැටෝ ආයතනයේ අර්බුද සහිත මුදල් ව්‍යාපෘති පිළිබඳ බුද්ධි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ අධ්‍යක්ෂවරයකු ද වේ. එමෙන්ම ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව, ගෝලීය සෞඛ්‍යය සහ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් හි ව්‍යාපාර ව්‍යවසාය අධ්‍යයනය පිළිබඳ ආයතනයේ සම අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කරයි.

මහාචාර්ය හැන්ක් රුසියාව, වෙනිසියුලාව, ඇල්බේනියාව, ආර්ජන්ටිනාව, බල්ගේරියාව, බොස්නියාව සහ හර්සගොවිනා, ඉක්වදෝරය, එස්තෝනියාව, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, කසකස්තානය, ලිතුවේනියාව, මොන්ටිනිග්‍රෝ සහ යුගෝස්ලාවියාව වැනි නැගී එන වෙළඳපොළක් සහිත රටවල මුදල් ප්‍රතිසංස්කරණ කරන්නෙකු ලෙස ද ප්‍රසිද්ධය.

ඔහු 1981 සිට 1982 දක්වා අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් වූ අතර ආසියාව, දකුණු ඇමරිකාව, යුරෝපය සහ මැද පෙරදිග රටවල රාජ්‍ය නායකයින්ගේ උපදේශකයෙකු ලෙස සේවය කර ඇත.

ඔහු මුදල් පුවරු, ඩොලර්කරණය, අධි උද්ධමනය, ජල මිලකරණය සහ ඉල්ලුම, ප්‍රතිලාභ-පිරිවැය විශ්ලේෂණය, පුද්ගලීකරණය සහ ව්‍යවහාරික ආර්ථික විද්‍යාවේ වෙනත් මාතෘකා පිළිබඳව ද ඔහුගේ දැනුම භාවිත කිරීම අතින් ප්‍රසිද්ධය.

මහාචාර්ය හැන්ක් ෆෝබ්ස් සඟරාව සහ එවැනි ප්‍රකාශන සඳහා තීරු ලිපි රචකයෙකු ද වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version