මුල් පිටුව උණුසුම් පුවත් “ජනපති ඉවත්වී කථානායක වැඩබලන ජනාධිපති කරන්න” – අනුර කුමාර දිසානායක

“ජනපති ඉවත්වී කථානායක වැඩබලන ජනාධිපති කරන්න” – අනුර කුමාර දිසානායක

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම සිය ධුරයෙන් ඉවත්වී කථානායකවරයා තාවකාලික වැඩ බලන ජනාධිපති ලෙස පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු ක ජන බලවේගය නිවේදනය කරයි.

වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාව මැයින් ඉදිරිපත් කළ එම යෝජනාවලියේ ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම සම්බන්ධයෙන් ද දක්වා තිබේ.

අදාළ ‌යෝජනාවලිය මෙසේය.

1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.

2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.

3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;

(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,
(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.

4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.
i. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.

ii. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.

iii. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.

iv. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය.

v. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.

ජාතික ජන බලවේගය
2022 මැයි 11

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version