තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයනව මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ට ජනපතිගෙන් පත්වීම් ලිපි

    නව මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ට ජනපතිගෙන් පත්වීම් ලිපි

    ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය පත්වීමේ ලිපිය කොළඹ ජනාධිපති මන්දිරයේ දී මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ලබා ගත්තේය.

    මහ බැංකුවේ අධිපතිවරයාට අමතරව මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් ව සිටින කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ද අද රාත්‍රියේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, මූල්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති නිලධාරියෙකු වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂවරයා ලෙස ද කලක් කටයුතු කළේය.

    ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය ද හොබවා තිබේ.

    නන්දලාල් වීරසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළ අතර මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල ආර්ථික විශේෂඥයකු ලෙස ද කටයුතු කර තිබේ.

    මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

    මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද ජාත්‍යන්තර සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසත් ඔහු කලක් කටයුතු කළේය.

    කේ.එම්.එම්. සිරිවර්ධන මහතා හෙට කොළඹ මුදල් අමාත්‍යාංශයේ දී සිය ධුරයේ ධූරයේ රාජකාරි භාර ගැනීමට නියමිතය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img