තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩයස්පෝරා සමඟ සාකච්ඡාවට සූදානම් - ජනපති අමෙරිකානු නියෝජිතවරියට කියයි

    ඩයස්පෝරා සමඟ සාකච්ඡාවට සූදානම් – ජනපති අමෙරිකානු නියෝජිතවරියට කියයි

    ලබන සිකුරාදා දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා කොට විවිධ රටවල සිටින ඩයස්පෝරාව සමඟ ද සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) දින ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) හමුවේ පවසා ඇත.

    ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති එම හමුව පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙසේය.

    අද පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිතුමා නූලන්ඩ් මහත්මිය දැනුවත් කළේය.

    ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නාය. ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ ජනාධිපතිතුමා උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බව පැවසීය.

    ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබා දීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය සඳහන් කළාය. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දෙනු ලැබී ය.

    කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මඟින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව රාජපක්ෂ මැතිතුමා පැවසීය. එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර නූලන්ඩ් මහත්මියගේ ඇගයීමට ලක් විය.

    පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිතුමා දූත පිරිසෙන් ඉල්ලා සිටියේය.

    සහකාර ලේකම් ඩොන් ලු (Don Lu), ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි (Amanda Dory), දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් (Geoff Chanin), විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img