තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිරිබාවේ 'පබළුගලින්' මතුවූ අතීතය

    ගිරිබාවේ ‘පබළුගලින්’ මතුවූ අතීතය

    අනුරාධපුර යුගයට අයත් යැයි අනුමාන කෙරෙන පුරාණ වීදුරු පබළු නිෂ්පාදනාගාරයක නටබුන් කුරුණෑගල, ගිරිබාව “පබළුගල“ ප්‍රදේශයෙන් සොයා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු පුරාවිද්‍යාඥයින් පිරිසක් කටයුතු කර තිබේ.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,කැලණිය විශ්වවිද්‍යාලය,ප්‍රංශ සහ ජර්මන් පුරාවිද්‍යාඥයන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදු කළ අතර, වීදුරු පබළු නිෂ්පාදනය කළ බවට හඳුනාගෙන ඇති උඳුන් 2ක් දැනට කැණීම් සිදු කර පර්යේෂණ කටයුතු සිදු කරන අතර ඒ වැනි උඳුන් 40කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශය පුරා විසිර පවතින බව තාක්ෂණික ක්‍රම ඔස්සේ සෙයා ගෙන ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පළ මහතා පෙන්වා දෙයි.

    ඒ අනුව මෙම ප්‍රදේශයේ අතීතයේ පුරාණ වීදුරු පබළු නිෂ්පාදනාගාරයක් පවතිනට ඇතැයි දැනට අනුමාන කළ හැකි බවත්, පබළු විශාල ප්‍රමාණයෙන් හමුවී ඇති අනුරාධපුරය ආශ්‍රීත ඓතිහාසික ස්ථාන,මන්නාරම් තොටුපළ ආදී ප්‍රදේශයන්ට ද විදේශ රටවල්වලට ද මෙම ස්ථානයෙන් පබළු නිපදවන්නට ඇති බවත් සිතිය හැකි යැයි ආචාර්ය මංගල කටුගම්පළයන් වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම ස්ථානය පිළිබඳව පුරාවිද්‍යාත්මක වටිනාකම,අයත් වූ කාල රාමුව,පබළු නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගත් තාක්ෂණය,ස්ථානයේ සිට ආසන්නතම ඓතිහාසික ස්ථාන සමඟ පැවැත් වූ සබඳතා ආදී කරුණු සොයා බැලීම පිළිබඳව ද පුරාවිද්‍යාඥයින්ගේ විශේෂ අවධානයක් යොමුව තිබේ. පර්යේෂණ කටයුතු අදියර ගණනාවක් ඔස්සේ සිදු කිරීමට නියමිත අතර පර්යේෂණය අවසාන වන විට දකුණු ආසියාවේ පුරාණ වීදුරු කර්මාන්තය පිළිබඳව පැරණීතම සාක්ෂි සාධක රැසක් පවතින ස්ථානයක් බවට ගිරිබාව පබළුගල පත්වනු ඇති බවට පුරාවිද්‍යාඥයෝ මත පළ කරති.

    “පබළුගල“ ප්‍රදේශයේ සිදු කළ මූලික සමීක්ෂණ තුළින් හමුවූ වළං කටුවලින් විවිධ වූ තොරතුරු අනාවරණය කරගත හැකිබවත්, ඒ සමයෙහි මෙම ප්‍රදේශයේ ජනාවාසව පවතින්නට ඇති බවට තොරතුරු හෙළ වී ඇතැයි පුරාවිද්‍යායෝ පවසති.

    “පබළුගල“පුරාණ ස්ථානයේ ගවේෂණ සහ කැණීම් කටයුතු තව දුරටත් සිදු කරන ලෙසත්,කැණීම් සහ ගවේෂණ අවසන් වූ පසු ඉදිරි සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සවිස්තර වාර්ථාවක් ජනාධිපතිතුමා වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් ස්ථානය පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පළ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා,ජර්මන් ජාතික පුරාවිද්‍යාඥ ආචාර්ය ariane de saxce ,ප්‍රංශ ජාතික පුරාවිද්‍යාඥ ආචාර්ය joelle Rolland, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය හරින්ද්‍ර ලාල් නාමල්ගමුව,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් සහකාර අධ්‍යක්ෂ එල්. එම්. ගුණතිලක බණ්ඩා,ආචාර්ය නුවන් අබේවර්ධන,පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් නිලධාරී සම්පත් ගරුසිංහ, පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් නිලධාරී ජිනක කාරියවසම්, පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් නිලධාරී ජී.රංජිත් පෙරේරා විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීහු සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img