මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ- කන්කසන්තුරේ සැප දුම්රියට විශේෂ ආරක්ෂාවක්

කොළඹ- කන්කසන්තුරේ සැප දුම්රියට විශේෂ ආරක්ෂාවක්

0

කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන සුබෝපභෝගී දුම්රියේ ගමන් කිරීම සඳහා මසකට පෙර සිට ජාලගත ක්‍රමයට (Online) ඊ-ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට හැකිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකසා ඇත.

මෙම දුම්රිය සේවාව ඊයේ (09) සිට ආරම්භ වූ අතර පෙරවරු 5.10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ගමන් කෙරිණි.

මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් පැමිණිමට ධාවන කාල සටහන සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නවීන තාක්ෂණය අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10 ක් සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මෙම දුම්රිය තුල ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කටයුතු යොදා ඇත. ඒ අතර සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වේ.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදිගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500කි.

දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ. ඉන්පසු අමාත්‍යවරිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කල අතර මෙම අවස්ථාවට දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version