මුල් පිටුව උණුසුම් පුවත් වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩල අවසන් තීන්දුව කෙහෙළිය අතට

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩල අවසන් තීන්දුව කෙහෙළිය අතට

0

වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩල සම්බන්ධයෙන් පවතින ගැටුම නිරාකරණය කිරීමේ අවසන් බලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පවරා තිබේ.

පසුගිය 4 වැනිදා අරලියගහ මන්දිරයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍යතුමා අතර පැවැති සාකච්ඡාවේ දී මෙම තීන්දුව ප්‍රකාශයට පත්වී තිබේ.

ඒ අනුව සියලු දෙනාගේ එකඟතාවෙන් යුතුය පවතින ගැටලුව නිරාකරණය කර ගැනීමට යොමු වන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙම හමුවේදී දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.

අදාළ හමුවට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා 7ක් ගෙනවිත් ඇති අතර එහි ප්‍රධාන යෝජනාව වී ඇත්තේ මාරු මණ්ඩලය පැවති ක්‍රමවේදයට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයයි.

මෙම යෝජනාව පිළිගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දීම නිසා සාකච්ඡාවක් සඳහා එකට වාඩි වී තීන්දු තීරණ ගැනීමට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍යතුමා පවසා ඇත.

කෙසේ වෙතත් මෙයට පෙර මෙම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යවරයා දේශපාලන බලපෑම් සහිතව පෙනී සිටි බවට මාධ්‍ය යේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙයට පෙර ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබූ අතර එය නොලැබීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් වේලාවක් වෙන් කර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මාරු මණ්ඩලය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තීරණය වෙනසක් නොවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැවත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ සාකච්ඡාවකට යොමු වී ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ගයක් ඔස්සේ newswave.lk වෙත දැන ගැනීමට ලැබිණි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version