මුල් පිටුව උණුසුම් පුවත් ජනපති ප්‍රධානත්වයෙන් හෙට සිට ජනමාධ්‍යවේදීන්ට නොමිලේ පිදෙන රක්ෂණාවරණය

ජනපති ප්‍රධානත්වයෙන් හෙට සිට ජනමාධ්‍යවේදීන්ට නොමිලේ පිදෙන රක්ෂණාවරණය

0

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වා දුන් ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට Softlogic Life රක්ෂණ ඔප්පු ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පෙ.ව.10.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් හඳුන්වා දුන් මෙම ඇසිදිසි ජනමාධ්‍යවේදී රක්ෂණාවරණ ව්‍යාපෘතියේ පළමු වටය සඳහා මාධ්‍යවේදීන් 3000ක් මේ සඳහා තෝරාගෙන ඇත.

සියළු මාධ්‍ය ආයතන නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් 98 දෙනකුට හෙට රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරේ.

“රට හදන සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය පිණිස ඉදිරිපත් කළ සුවිශේෂ යෝජනාවක් වන ජනමාධ්‍යවේදීන් උදෙසා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් “ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය” නමින් සැලසුම් කරන ලදී.

අගති විරහිත හා සදාචාර සම්පන්න මාධ්‍ය භාවිතයේ වගකීම ඇතිව, ජනතාව වෙත නිවැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීමෙහිලා සුවිශාල කාර්යභාරයක් ඉටුකරන ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කැපවීම අගයමින් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු කිරීම ඇසිදිසි රක්ෂණාවරණ ව්‍යාපෘතියේ අරමුණයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පතක් හිමි,මාධ්‍ය ආයතනයකින් රක්ෂණාවරණයක් නොලබන මාධ්‍යවේදීන්ට මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව ලැබිණ.

ඇසිදිසි රක්ෂණාවරණය යටතේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර, බාහිර ප්‍රතිකාර, අසාධ්‍ය රෝග සඳහා ප්‍රතිකාර, ශ්‍රවණාධාර හා ඇස් කණ්ණාඩි මිලදී ගැනීම වැනි අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සැලසේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ඇසිදිසි රක්ෂණාවරණ වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදනය රුපියල් මිලියන 100 ක් වන අතර මේ සඳහා ජනමාධ්‍යවේදීන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version