මුල් පිටුව උණුසුම් පුවත් “මිලටරි ගෝඨා නොවී ජනතාවට පොරොන්දු වුණ විප්ලවීය වෙනස කරනවා”

“මිලටරි ගෝඨා නොවී ජනතාවට පොරොන්දු වුණ විප්ලවීය වෙනස කරනවා”

0

අවශ්‍යනම් හමුදාවේ කෙනෙක් වගේ හැසිරෙන්න පුළුවන්.ඒත් මේක ප්‍රාජාතන්ත්‍රවාදී රටක්. බොරු චෝදනාවලට අදටත් අපි ජිනීවා මානව හිමිකම් කොමිසමට යනවා. එහෙම තැනට රට පත් නොකර මම පොරොන්දුවුණ විප්ලවීය වෙනස රට වෙනුවෙන් කරනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික උත්සවය වීරකැටිය මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ පැවති අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියට පත් කිරීම, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි එක රටක් එක නීතියක් කමිටුවේ ප්‍රධානත්වයට පත්කිරීම, ගොවි ජනතාවගේ පොහොර ගැටලුව සහ අනාගතය මෙන්ම ජනපති සැප සම්පත් තමන් භුක්ති නොවිදීම ගැනත් සඳහන් කරමින් ඒක තමයි වෙනස යැයි ජනාධිපතිවරයා මෙම කතාවේ දී ප්‍රකාශ කළේය.

වූහාන්වල සිරවුණ ශ්‍රී ලාංකිකයො අපි ලංකාවට ගෙනල්ලා. නිරෝධායන ආරම්භ කරලා. මැදපෙරදිග එක්ලක්ෂ පනස් දහසක් නිරෝධායන කරලා. රට දහ වතාවක් වහලා.

රට ඇරලා තියෙන කොට විපක්ෂය වහන්න කියනවා. රට වහලා තියෙන කොට අරින්න කියනවා. ඩොලර් බිලියන 5ක ආදායමක් ගෙනාපු සංචාරක ක්ෂේත්‍රය කොවිඩ් නිසා බින්දුවට වැටුණා. ඔබ වහන්සේලාට තේරුම් ගන්න පුළුවන් එමගින් කොපමණ දුෂ්කරතාවක් ආර්ථිකයට ඇතිවෙනවා ද කියලා. ඉහළම හොටලයේ ඉදන් තැඹිලි ගෙඩිය විකුණන මිනිහා දක්වා මිලියන 3ක් කඩා වැටුණා. අපි රට වහනකොට කුඩා වෙළඳ සැලේ ඉදන් ඉහළම ව්‍යාපාරිකයා දක්වා වැටෙනවා. ඇගළුම් කර්මාන්තයේ අදායම නැතිවුණා. ඒක දැන් අපි හදාගෙන තියෙනවා. මැදපෙරදිග රැකියා නැතිවීම නිසා. ඒ අයගෙන් ආපු මුදලුත් අපට නැතිවුණා.

මේ විධියට ආර්ථිකය කඩා වැටුණත්, අවුරුද්දට ඩොලර් බිලියන 4ක් ණය ගෙවන්න වුණා. මේ අවුරුද්දටත් අපි ගෙව්වා. සෛවරී බැදුම්කර වාර්ෂිකව ඩොලර් බිලියන 1.5 ක් ගෙවන්න ඕනි. අපි ගෙව්වා. පහුගිය ආණ්ඩුව අපට භාර දුන්නේ ඉතා කුඩා සංචිතයක්. අපට ගෙවන්න තිබුණ ණය එක්ක ගත්තම කොයිතරම් අමාරුවෙන්ද මේ වගේ අභියෝගයක් ජයගන්න ඕනි කියලා ජනතාව තේරුම් ගන්න ඕනි.

අවුරුදු දෙකක් ගුරු භවතුන් ගෙදර හිටියේ. අපි ඒත් පඩි ගෙව්වා. රජයේ සේවකයන්ගෙ පඩි කැපුවේ නැහැ. කොවිඩ් හැදුණු පවුල්වලට අපි මුදල් ලබා දුන්නා. අද ගොවි මහත්වරු කියලා උද්ඝෝෂණ කරනවා. කවුද ගොවියාව බලාගත්තෙ මොන ආණ්ඩුව ද ? මම බලයට එනකොට රුපියල් 25ට වී විකුණ ගන්න බැරිව හිටියා. එදා ගොවි මහත්තයෙක් ප්‍රවෘත්තිවල වී වලට රුපියල් 40ක් දෙන්න ඉල්ලුවා. එදා රුපියල් 25ට විකුණගන්න බැරි වී කිලෝව අපි ඇවිත් ගොවියට අපි රු.50ක සහතික මිලක් දුන්නා. ඊටත් වැඩිය ගන්නවා. කමක් නෑ ඒක ගොවියට යනවනම්.

හැට නව ලක්ෂයක් ජනතාව මට ඡන්දය දුන්නෙ මගේ මූණට නෙමෙයි. හරිත කෘෂි නිෂ්පාදනය හදනවා කියලා අපි කිව්වා. ආහාර සුරක්ෂිතතාව කියන්නෙ වස විස ආහාර දෙන එක නෙමෙයි. ඒක අපි පොරොන්දු වුණා. ඒක අමාරු කාර්යයක්. වෙනසක් ඉල්ලුවාම විප්ලවීය වෙනසක් ඉල්ලුවේ. පුරුදු ක්‍රමයට හැමෝම කැමතියි. මට අවශ්‍ය නෑ ගොවි ජනතාවට බලෙන් කාබනික පොහොරවලට යන්න කියන්න. මම කරේ හරි දේ. පොරොන්දු වුණ දේ.

සමහරු කියන්නෙ මිලටිරි කෙනෙක්ලු ඉල්ලුවේ ගෝඨාභය කියලා. මට කියන්න පුළුවන් හමුදාවට ගොවියගෙ බෙල්ලෙන් අල්ලලා මේක කරපං කියලා. හමුදාවේ වගේ කෙනෙක් වෙන්න පුළුවන් මට ඕනි නම්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අදත් අපි ජිනීවා යනවා බොරු චෝදනාවලට. මට අවශ්‍ය නැහැ මේ රට ඒ තැනට ගේන්න. නමුත් මම පොරොන්දු වෙච්ච විප්ලවීය වෙනස මම කරනවා.

අපිට තෙල් නෑ. අපට ගල් අගුරු නෑ. අපට ගෑස් නෑ. නමුත් අපට තියෙනවා හිරු එළිය. වතුර සුළග. අපට මේ තුනෙන්ම විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒක කරන්න ගියාමත් විශාල විරෝධයක් තියෙනවා. මේවා තමයි රටක් හැටියට අපි කරන්න පොරොන්දු වුණේ.

ජනාධිපති අගමැති යනකොට වෙනදා විශාල කාර් ප්‍රමාණයක් යනවා. ඇම්බුලන්ස් යනවා. ෆයර් බ්‍රිගෙඩ් යනවා. දැන් මට යන්නෙ වාහන දෙකයි. අමෙරිකාවේ මම ගියපු වෙලාවේ වාහන 15ක් ගියා. එ.ජා සැසිවාරයට මම ගිහිං හිටියේ සාමාන්‍ය හෝටලයක. මගේ බිරිඳගෙ ටිකට් එකට මම සල්ලි දුන්නා. මාත් එක්ක ගියේ 7 දෙනයි. මාත් එක්ක මගේ ඥාතීන් ගියා නම් සංතෝෂයි. හැබැයි යන්න නැති වුණාම එයාලටත් හිතට හොඳ නෑ. අයියෝ අපේ මාමා වැඩක් තියෙනවා ද අපට යන්නත් නෑ කියලා හිතෙන්න පුළුවන්. ඒක තමයි වෙනස. මටත් අර රජ ගෙදරක් තියෙනවා. මම ඉන්නෙ හිටපු ගෙදරමයි. සමහරු ඇවිල්ලා අහනවා ඇයි අර රජ ගෙදර ඉන්නෙ නැත්තෙ කියලා. විශාල මන්දිරවල අපි ලයිට් පුච්චන්නෙ නෑ. ඒකයි වෙනස.

බලන්න හාමුදුරුවනේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මම කොළඹ විශ්ව විද්‍යාල්යේ කුලපතිකම දුන්නා. උන්වහන්සේ අපිව බලයට ගේන්න වැඩ කළා. ඒක ඇත්ත. අපට විරුද්ධව කතා කරපු ගමන් පහුගිය දවසේ විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, අර ස්ටාලිංද කවුද, මහින්ද ජයසිංහ, ඔක්කොම එතැනට ගියා උපදෙස් ගන්න. හැබැයි උන්වහන්සේට කුලපතිකම දුන්නම ඒකට සුදුසු නෑ කියනවා.

අනුරාධපුරයේ ආපු වෙලාවක ස්වාමීන්වහන්සේ නමක් කිව්වා කෝ ජනාධිපතිතුමා අර එක රට එක නීතිය කියලා. මම කිව්වා ඒක සංකල්පයක් කියලා. ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තමයි අවුරුදු 5ක් එක රටක් එක නීතියක් ගැන කතා කළේ. ඉතිං මම කිව්වා ඔබ වහන්සේ මට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හදලා දෙන්න කියලා. මුං ඇටවලට අද කීයක් හම්බවෙනවාද ? රු.450ක්. අද ගම්මිරිස්වලට කීයක් හම්බෙනවා ද ? කුරුඳුවලට අද කීයක් හම්බවෙනවා ද ? දැන් කහවලින් අපි ස්වයං පෝෂිතයි. අද ඉඟුරුවලට කීයක් හම්බෙනවාද ? ගොවියට වැඩිපුර හම්බවෙනකොට පාරිභෝගිකයාට ඒ මුදල වැඩිවෙනවා. අපි ගොවියා බලාගන්න ඕන. ඒ වගේම පාරිභෝගිකයාට සහන දෙන්න ඕන.

ගොවියට රුපියල් 50ට නාඩු ගත්තොත් සියලු ලාභ එක්ක 98 දෙන්න පුළුවන්. හැබැයි 60-70 වෙනකොට සහල් මිලත් වැඩිවෙනවා. අතරමැදියට නැතිව ගොවියට ඒ මුදල යනවා නම් අපි සතුටුයි. අපි පාරිභෝගිකයාට යම් සහනයක් දෙන්නම්. අපි සෞභාග්‍ය දැක්මේ කිව්ව විප්ලවය අපි කරනවා. තරුණයො ඇවිත් තාප්පවල චිත්‍ර ඇන්දා. පුරන් කුඹුරු වැපිරුවා. මම ඒ අයට නැවත ආරාධනා කරනවා. ඇවිල්ලා කුඹුරු වපුරන්න. මේක විශාල වෙනසක්. අපට මේ වෙනස කරන්න පුළුවන් නම් මේක පළවෙනි රට ලෝකයේ කාබනික වගාව කරපු කියලා කියන්න පුළුවන්. අපේ අහාර පිටරට යවලා අපට ඒ සඳහා හොඳ මිලක් ගන්න පුළුවන්. මේක පර්යේෂණයක්.ගොවි මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. අපි වගා කරලා බලමු.

ඉල්ලපු විප්ලවීය වෙනස දෙනවා කියන බලාපෙරොත්තුවෙන් මම නවතිනවා යැයි ජනාධිපතිතුමා කීවේය.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version