මුල් පිටුව උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පාප් වහන්සේගෙන් අගරදගුරු හිමිට පිළිතුරු ලිපියක්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පාප් වහන්සේගෙන් අගරදගුරු හිමිට පිළිතුරු ලිපියක්

0

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් තම අදහස පිළිබඳ අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් මෙරට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලිපියක් එවා තිබේ.

ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අගරදගුරු හිමි විසින් යවන ලද ලිපියට පිළිතුරු ලෙස එවූ එම ලිපිය පිළිබඳ සහ එහි අන්තර්ගතය මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කරන ලද්දේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය සහ මෙරට කතෝලික සභාව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ ඊයේ (23) පැවති ඔන්ලයින් රැස්වීමකදී ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට ගතයුතු හොඳම ඉදිරි පියවර ගන්නා ලෙසත් ඊට තම සහය ලැබෙන අතරම එහි සිට තමාට කළ හැකි දේ පිළිබඳ දන්වා එවන ලෙසත් එහිදී පාප්වහන්සේ ලිපිය මගින් පෙන්වා දී ඇත.

අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ උන්වහන්සේගේම අත්අකුරින් ඉතාලි බසින් ලියන ලද 2021 සැප්තැම්බර් 19 දිනැති ලිපිය අගරදගුරු හිමි විසින් පරිවර්තනය කොට පවසන ලදී. එම ලිපියේ මෙසේ ද සඳහන් වී ඇත.

“ඔබ විසින් එවන ලද ලිපිය පසුගිය අගෝස්තු 24 වනදා කාදිනල් බංඥාස්කෝ මා අතට පත් කළා . එහි 2019 අප්‍රේල් 21 වන දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින විනිවිදභාවයකින් තොර විමර්ශන පිළිබඳ ඔබ සඳහන් කර තිබුණා. එමෙන්ම පසුගිය දිනක මෙහි සිටින ඔබේ අපෝස්තලික තානාපතිතුමන්ද ලිපියක් මගින් එම කරුණු පිළිබඳවම මා දැනුවත් කර තිබුණා.

අතිඋතුම් කාදිනල්තුමනි,
මෙම තත්ත්වය මා බොහෝ කනගාටුවට පත් කරනවා. මම පොරොන්දු වෙනවා තව තවත් යාච්ඤා කරන්න. මෙම හෙට මේ ගැන රාජ්‍ය ලේකම් කාදිනල්තුමන් සමඟ කතාකරනවා. මට මතකයි ප්‍රහාරය එල්ල වූ දිනවල කිතුණුවන් ආවේගශිලි නොවන්නට ඔබ කටයුතු කළ ආකාරය සහ ඉස්ලාම් භක්තිකයන් හමුවී ඔවුන් හට මිත්‍රත්වය පෙන්නුම් කළ අකාරය. මට අමතක නැහැ ඔබ සැබෑ යහපත් එඬේරෙක් ලෙස ක්‍රියා කළ ආකාරය. එබැවින් ඉදිරියේදී කළ හැකි හොඳම දේ පිළිබඳ ඔබ ගන්නා වූ තීරණ පිළිබඳවත් මා හට මෙහි සිට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මා දැනුවත් කරන්න.”

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version