මුල් පිටුව උණුසුම් පුවත් මහපොළ අරමුදලේ නම වෙනස් කෙරේ

මහපොළ අරමුදලේ නම වෙනස් කෙරේ

0

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ නම ‘ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල’ ලෙස වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මහපොළ උසස් ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධනය සඳහා වන නීති කෙටුම්පත ඊයේ (11) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා මේ රටේ ආර්ථික ගැටලු පවතින දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා අත්වැලක් සැපයීමේ අරමුණෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ඇති කළ බවත් ඒ මහතාගේ පුද්ගලික මුදල් වැය කර භාරකාර අරමුදලක් ලෙස පිහිටුවනු ලැබූ බවත් පසුව සංවර්ධන ලොතරැයිය දායක කර ගනිමින් විවිධ ව්‍යාපාරික ආයතන සහ පුද්ගලයන්ගේ මුදලවලින් මෙම අරමුදල ගොඩනැගුණු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලෙහි නම ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීම , සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරයකු පත් කිරීම , භාරකාර අරමුදලේ සේවක කාරකාධීන් ඇතුළු පිරිස පොදු දේපල පනතට යටත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.‍

ඒ අනුව ඉදිරියෙදී උසස් අධ්‍යාපනය දහාරන දරුවන්ට මෙම අරමුදල සුරක්ෂිත කොට පෝෂණය කිරීම මෙහි අරමුණ වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.මෙම කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version