තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පුවත්පත් කතුවරුන් CID කැඳවීම පිළිකුල්සහගතයි" - සජිත්

    “පුවත්පත් කතුවරුන් CID කැඳවීම පිළිකුල්සහගතයි” – සජිත්

    මාධ්‍ය නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරමින් ලංකාදීප දිවයින කර්තෘවරුන්ටත් එහි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටත් මෙන්ම තවත් මාධ්‍යවේදීන් පිරිසකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග නිකුත් කොට තිබීම පිළිකුලෙන් යුතුව හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක භාෂණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති නිදහස සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තියේ පැහැදිලිව දක්වා ඇති අතර එවැනි රටක මාධ්‍ය භූමිකාවට මෙවන් තර්ජන එල්ල කිරීමට කිසිවෙකුට හැකියාවක් නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

    අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින් ද සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් ද මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය මඟින් ද ඉතා පැහැදිලි ව පිළිගෙන ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    නියමින් හෝ අනියමින් මාධ්‍ය නිදහසට වැට බැඳීම ඔවුන්ට තර්ජනය කිරීම ඔවුන්ට වාරණය කිරීම අප අනුදකින දේශපාලනය නොවන අතර අපේ නොවෙනස් ප්‍රතිපත්තිය වන්නේ මාධ්‍යයට පැවරිය යුත්තේ ස්වයංවාරණයක් පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

    අතීතයේ වැරදි නිවැරදි නොවේ නම් අනාගතය අතිශයින් දුර්භාග්‍ය සම්පන්න වන බව අවධාරණය කරන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරබයා එල්ල වූ මෙම පිළිකුල් සහගත තර්ජනය හා එම තර්ජනයට අනන්‍ය වූ පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ද සජිත් ප්‍රේමදාස මහතාගේ නිවේදනයේ සඳහන් ය.

    එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

    මාධ්‍යයට සහ මාධ්‍ය නිදහසට එරෙහි තර්ජනය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

    මාධ්‍ය නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරමින් ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග නිකුත්කොට ඇති බව වාර්තා වේ.
    ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති නිදහස සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියේ පැහැදිලිව දක්වා ඇති අතර එවැනි රටක මාධ්‍ය භූමිකාවට මෙවන් තර්ජන එල්ල කිරීමට කිසිවකුට හැකියාවක් නැත.

    • අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින්ද, සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින්ද, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය මගින් ද, ඉතා පැහැදිලිව පිළිගෙන තිබේ.

    • රටේ පවතින දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කිරීම මාධ්‍ය සතු වගකීමක් වන අතර, ඒ වගකීම ඉටු කරන මාධ්‍යවේදීන්ව රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමට හෝ, ඔවුන් ඉලක්ක කරගෙන තර්ජන එල්ල කිරීමට හෝ, ඔවුනට බලපෑම කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව අවධාරණය කළ යුතුය.

    • තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීයව පවතින අවස්ථාවක්ව තිබියදී කිසිසේත්ම මේ ආකාරයේ කැඳවීම් කිරීම කළ නොහැකි අතර, එවැනි ආවරණයක් නොතිබියදී වුවත් මාධ්‍යවේදීන්ට මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නැත.

    • එවැනි කැඳවීමක් සිදුකිරීම මාධ්‍යවේදීන්ට කළ අපහාසයක් වන අතර ඔවුන්ගේ මාධ්‍ය භූමිකාවට සිදුකරන ලද බරපතළ අනිසි තර්ජනයක් සේ ද අපි සලකමු.

    • මේ රටේ දූෂණ වංචා හෙළිදරව් කරන මාධ්‍යවේදීන්ගේ අදීනත්වය අඩපණ කිරීමට පවා මෙම තර්ජනාන්විත ලිපි හේතු විය හැකි අතර,අපි එයට මාධ්‍ය නිදහසේ නාමයෙන් බරපතළ විරෝධය ප්‍රකාශ කරමු.

    • අතීතයේ සිදු වූ යම් යම් වැරදි අනාගතයට උරුමකර දීම හෝ එය සාධාරණීකරණය කිරීම දියුණු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක ශිෂ්ට සම්පන්න ක්‍රමවේදය නොවන අතර අප කළ යුත්තේ අඩුපාඩු සහ වැරදි වලින් පාඩම් උගෙන නිවැරදි මාවත තෝරා ගැනීමය.

    • නියමින් හෝ අනියමින් මාධ්‍ය නිදහසට වැට බැඳීම, ඔවුන්ට තර්ජනය කිරීම, ඔවුන්ව වාරණය කිරීම අප අනුදකින දේශපාලනය නොවන අතර, අපේ නොවෙනස් ප්‍රතිපත්තිය වන්නේ මාධ්‍යයට පැවතිය යුත්තේ ස්වයංවාරණයක් පමණක් බවය.

    එකී ප්‍රතිපත්තිය තිරසාර වන අතර කිසිදු හේතුවක් මත වෙනස් නොවන්නකි. මේ අභියෝග සහ තර්ජනයන්ට එරෙහිව සියලු මාධ්‍යවේදීන් සමඟ අප අත්වැල් බැඳ ගන්නා අතර ඔවුන්ට අවශ්‍යවන නීතිඥ සහායක් වෙත්නම් ඒ අනුග්‍රහය ලබාදීමට ද සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම සැදී පැහැදී සිටින බව අවධාරණය කරමු.

    අතීතයේ වැරදි නිවැරදි නොවේ නම් අනාගතය අතිශයින් දුර්භාග්‍ය සම්පන්න වන බව අවධාරණය කරන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරඹයා එල්ල වූ මේ පිළිකුල් සහගත තර්ජනය ඒ තර්ජනයටම අනන්‍ය වූ පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිමු.

    සජිත් ප්‍රේමදාස
    විපක්ෂ නායක

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img