මුල් පිටුව special පිළිස්සුන සම වෙනුවට සංවේදන දැනෙන කෘතීම සමක්…

පිළිස්සුන සම වෙනුවට සංවේදන දැනෙන කෘතීම සමක්…

0

සම යනු අපගේ සිරුරේ විශාලතම ඉන්ද්‍රියයි. උණුසුම් – ශීත බව, වේදනාව යනාදී නොයෙකුත් සංවේදන, සම හරහා අපට දැනේ. සම හරහා ලබාදෙන එම සංවේදන මගින් බොහෝ විට, අපගේ ශරීරයේ යම් ස්ථානයකට භාහිර පරිසරයෙන් ඇති වන අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදු කරනු ලබයි. මේ නිසා බාහිරව ඇතිවිය හැකි බොහෝ ව්‍යාධීන්ගෙන් අප සිරුර ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සම මගින් සිදු කෙරෙයි.

ගින්දරට හෝ ඇතැම් රසායනික ද්‍රව්‍ය වලින් සිදුවන පිළිස්සීම් වලදී සමට දැඩිලෙස හානි සිදු වන අතර මේනිසා විරූපීතාවයන්ද ඇතිවේ. මෙවිට බොහෝවිට සිරුරේ වෙනත් ස්ථානයකින් ලබාගන්නා සමෙහි කොටසක් අදාල, හානිවූ ස්ථානයට බද්ධ කිරීමක් සිදු කරයි. ඇතැම් විට එවැනි බද්ධ කිරීමක් සිදු නොකළ හැකි තරමට හානි සිදු වන අවස්ථා ද ඇත. නමුත් සමේ කොටසක් බද්ධ කළද, එම සම මගින් නැවත සංවේදනයන් දැනීමක් ඇති නොවන නිසා එම ප්‍රදේශයේ අනතුරු ඇඟවීමක් සිදු නොවීමේ අවධානමක් පවතී. මෙයට පිළියමක් ලෙස ඕස්ට්‍රේලියාවේ RMIT විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිලිකන් රබර් ආශ්‍රිතව නිපදවූ, සංවේදන දැනෙන කෘතීම සමක් පිළිබඳ පුවතක් විදෙස් ජනමාධ්‍ය මගින් පසුගියදා වාර්තා කර තිබුණි.

සාමාන්‍යයෙන් අප විසින් රත්වූ යමක් ඇල්ලූ විට, අපගේ සම හරහා මොළයට එහි බලපෑම දක්වන අතර මොළය සහ ස්නායු පද්ධතිය මගින් එහි ඇති අනතුර හඳුනාගෙන වහාම අත ඉවතට ගතයුතු බවට සංඥාවක් නිකුත් කරයි. ඒ අනුව ක්ෂණිකව අත ඉවතට ගැනීම සිදු වෙයි. මෙම කෘතීම සමද එලෙසම මොළය වෙතට සංඥා ලබාදීමට සමත් බව RMIT විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය මධූ බාස්කරන් විසින් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත. කෘතීම අත් – පා සඳහා ද මෙම කෘතීම සම යොදා ගතහැකි අතර එමගින් අමතර ආරක්ෂාවක් එය භාවිතා කරන පුද්ගලයාහට ලබාදිය හැකි බවද පර්යේෂණ කණ්ඩායම විසින් මෙහිදී පෙන්වා දී ඇති බවට වාර්තා වේ…

(මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

මංජුල ද සිල්වා

මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version