මුල් පිටුව ජීවන රටාව රුව ලස්සන කරන ගෙවත්තේ සැඟවුණු විස්මය

රුව ලස්සන කරන ගෙවත්තේ සැඟවුණු විස්මය

0

ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත
රක්වාන ආයුර්වේද රෝහල

ලස්සන වෙන්න කවුද අකමැති .වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමදෙනාම ලස්සන ගැන හිතන්න පුරුදු වෙලා ඉන්නවා . ලස්සන වෙන්න අවට වටපිටාවෙන්ම සරලව සත්කාර කරගන්න පුළුවන් නම් කොතරම් වටිනවද? එහෙනම් බලන්නකො ඔබේ අවට ගෙවත්තේ ගුණ රුව දෙකම ලබා ගන්න පුළුවන් මල් වර්ග වැටිලා නිකං ප⁣රවෙලා කුණු වෙලා යනවද කියලා . හැබැයි දැන් කියන මල් වර්ග උපයෝගී කරගෙන ලස්සන වෙන්න වගේම එහි ඇති ඖෂධීය වටිනාකම හරහා නිරෝගිමත් භාවය රඳවා ගන්නත් ඔබට පුළුවන් .

අවට ගෙවත්ත තුළින් පහසුවෙන් සොයා ගන්න පුළුවන් ඖෂධීය ගුණ යුත් රුව වඩන මල් වර්ග

පොකුරු වද මල්
නිල් කටරොලු
රෝස මල්
කතුරුමුරුංගා මල්
සමන්පිච්ච
රත් මල්
සේපාලිකා
මානෙල්
නාමල්
බෙලි මල්
රණවරා මල්

මෙවැනි මල් වර්ග සමහර අවස්ථාවන් වලට සම්පුර්ණ මල, පෙති , රේණු රුව අලංකරණය වැඩි කරන්න යොදා ගන්නවා .

පොකුරු වද මල්
සිරුර සිසිල් කරන අතර ලේ පිරිසුදු කරනවා .
සමට හිතකරයි . වගේම සමේ පැහැය වඩවනවා.
හිස කෙස් කලු හා දීප්තිමත් කරනවා.
කාන්තාවන්ගේ ගර්භාෂය සිසිල් කර දරු ඵල ධාරණයට උපකාර වෙනවා .
වද මල් යුෂයෙහි අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට (Antioxidants) රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව “ලිපොප්‍රෝටීන” (LDL) ප‍්‍රමාණය අවම කළ හැකි බව පර්යේෂණ වලින් සොයා ගෙන තියෙනවා . ඒ නිසා සිරුර කෙට්ටුවට තබා ගන්නද උපකාරී වෙනවා .

ඒ නිසාම ඔබ කැමති ඇති පොකුරු වද මල් පානයක් සකසා රසවිඳින්න .
අලුත පිපුණු පොකුරු වදමලක් ගෙන සෙමින් සෝදන්න .මොකද අවටින් නැවුම්ව නෙලා ගත්තාට කෘමි සත්තු ඉන්න පුළුවන් . පස්සෙ හෙමින් මල් පෙති අයින් කරගෙන උණුවතුර වීදුරුවකට දමා වසා තබන්න. එහිදී වතුර පැහැය ලස්සන තද රතු පැහැයකට හැරී තිබෙනවා දැක ගන්න පුළුවන් . දැන් මේ වතුර පෙරා ගෙන අවශ්‍ය නම් පිරිසිදු මී පැණි, දෙහි බිංදු කිහිපයක් , ලුණු දමා ඔබට රස බලන්න පුළුවන් .

*කොණ්ඩයෙහි නිරෝගී බව ,කලු දීප්තිමත්බව රැක ගන්න.
පොකුරු වද මල් තම්බා අඹරා හිස්කබලේ හා හිස කෙස් වල ආලේප කර විනාඩි 20 තියප ඇල් දියෙන් සෝදා හරින්න . එය නිරෝගී කලු ඝන හා දීප්තිමත් කෙස් කළඹක් ඔබට හිමි කර දෙනවා .
මල් යුෂ ඇහි බැම වල පිරි මැදීමෙන් ඇහි බැම හොඳින් වැඩෙනවා .

නිල් කටරොලු
නිල් කටරොලු මලේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය (Antioxidants ) නිසා වයසට යාම පමා කරගන්න පුළුවන් .අපි කවුරුත් කැමතිනෙ තරුණ බව රැක ගන්න. ඔන්න ඕගොල්ලන්ට දැන් සරලව ලොකු මුදලක් වැය නොකර ස්වභාවිකව වයසට වඩා අඩු වයසක් පවත්වා ගන්න පුළුවන් මේ හරහා.

මානසික ආතතිය කියන්නේ රුව අවලස්සන කරන දෙයක් .ඒ වගේම සුව නින්දක් නොලැබීම ඔබේ රුව මෙන්ම ගතේ නිරෝගීභාවය නැති කරන සාධකයක් .මේ සියල්ල වගේම දවසේ වැඩ කරල හෙම්බත් වූ ඔබට දවසේ වැඩ අවසන් කරල නිල් කටරොලු පානයක් සකසා බීම තුළ මානසික විඩාව/ පීඩනය අවම කරගන්න රුකුලක් වේවි .මෙහි ඇති ඇන්ටිඔක්සිකාරක මොලයේ ඇති ස්නායු ලිහිල් කිරීම නිසා
සුව නින්දක්ද ලබා ගන්න උපකාරී වෙනවා . මතකය වර්ධනයටත්, මොළයේ සෛල වර්ධනයටත් උදව් වෙනවා.

නවතම පර්යේෂණ වලින් සනාත වෙලා තියෙනවා මෙම මල් වලින් සාදන පානයක් ප්‍රදාන ආහාර වේල් අතර තුර ගැනීමේ හැකියාව තිබෙන බව. එයින් දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීමේ හැකියාව පවතින බව තහවුරු වී තිබෙනවා.
හදවත් ආශ්‍රිත රෝග පාලනයට කටරොලු මලේ ඇති ඇන්ටිඔක්සිකාරක උදව් වන අතර කොලෙස්ටරෝල් ද අඩු කිරීමේ හැකියාව පවතිනවා .
එසේම කේෂ මූල වලට රුධිර සංසරණය ක්‍රමවත් කිරීම තුළ නීරෝගී කෙස් කලඹකට උරුමකම් කීමේ හැකියාව ලැබෙනවා .

වා/පිත් / සෙම් තුන් දොස් සමනය , සෙම/ කැස්ස / ඇදුම රෝග වලට සුවයක් ද, සන්ධි රෝග ,හිසේ කැක්‌කුම ,මුඛය ආශ්‍රිත රෝග ,ගර්භාෂ රෝග මෙන්ම ඇතැම් අවස්ථා වලදී වේදනා නාශක ලෙසද භාවිතයට ගන්න පුළුවන් .
කටරොලු මලේ ඇති ප්‍රතිඔක්සිකාරක ආහාර ජීර්ණය ක්‍රමානුකූලව සිදු කරන්නද උපකාරී වෙනවා. සිරුරේ කැලරි දහනය කරන්න , අක්මාව ආශ්‍රිත ආසාදන සුව කරන්න උදව් වෙනවා. මෙම ක්‍රියාවලියට වඩාත්ම උදව් වන්නේ මලේ ඇති EGCG (Epigallocatechin gallate) සංඝටකයය.

නිල් කටරොළු මල් පානය සකසා ගැනීම ඉතා පහසුයි.බලන්නකො ඔබත් හදල බීලා ගුණ රස කොහොමද කියලා .

නිල් කටරොළු මල් කිහිපයක් ගෙන සෝදා උණුසුම් වතුර වීදුරුවකට දමා විනාඩි කිහිපයක් වසා තබන්න .එ් උණුසුම් ජලයට නිල් පාට එකතු වූ පසු පෙරා දෙහි බිංදු කිහිපයක් , ලුණු හා මී පැණි මිශ්‍ර අවශ්‍ය නම් එකතු කර පානය කරන්න . ⁣

මෙයට අමතරව නිල් කටරොළු මල් වේලා කුඩුකර වියලි හා ආරක්ෂිතව ඇසුරුම් කර තබා ගන්න පුළුවන් .එයින්ද පානය සකස් කර ගත හැකියි .

වර්ණකාරකයක් ලෙසත් නිල් කටරොළු මල් යුෂ ඉඳිආප්ප ,පිට්ටු , අයිස් ක්‍රීම් , ජෙලි ආදියට මිශ්‍ර කර භාවිතා කළ හැකියි .

රෝස මල්
ඈත අතීතයේ ඉදන්ම රූපලාවණ්‍ය ක්ශෙත්‍රයේ රුව ඔප්නංවාගන්න භාවිතයට ගත්ත ලස්සන මල් වලින් එකක්‌ . සුවඳ විලවුන්, හිස සරසන සැරසිලි වලට , බාහිර ආලේපන සැකසීමට , ඉවුම් පිහුම් සහ වෙනත් ක්ෂේත්‍රවලත් භාවිතා වුණා .

කිරි සහ රෝස පෙති පුරාණ ලඳුන් ස්නානයට යොදා ගත්තා . එයින් මානසික ආතතිය දුරු වීමත් , සමට දීප්තිය මෘදු මොලොක් බව ලැබෙනවා .

රෝස වතුර⁣ ස්වභාවික ටෝනර් එකක් විදිහට භාවිතයට ගන්න පුළුවන් .
රෝස මල් පෙති ගෙන ඒවා පිරිසිදු වතුර බදුනකට දමා සෙමින් රත් කරන්න.
පෙති වල සාරය ජලයට උරා ගත් පසු පෙරා සිසිල් වූ පසු ශීතකරණය තුළ තබන්න .
ග්ලිසරීන් ස්වල්පයක් එක් කිරීමෙන් මෙම දියරය දින කිහිපයක් කල් තබා ගන්න පුළුවන් .

*රෝස වතුරට සමේ රැළි ඉවත් කිරීමේ හැකියාව තියෙනවා .
ඒ සදහා සකස් කර ගත් රෝස වතුර අයිස් භාජනයක ශීතකරණයක කැටි කරන්න. අයිස් කැබලිවලින් මුහුණේ බෙල්ලේ සියුම් සම පිස දමන්න. වයසට යාම වැළැක්වීමට මෙය හොඳම සත්කාරයක්.

මීට අමතරව රෝස මල් පෙති කසාය හිසකෙස් සඳහා ප්‍රයොජනවත් කරගන්න පුළුවන් . ඉන් කෙස් පෝෂණය කර අලංකාර කරනවා.

රෝස මල් කසාය අක්ෂි දාහ , අක්ෂි ප්‍රදාහ සඳහා ප්‍රයෝජනවත් වෙනවා . කපු පුළුන් කැබැල්ලකට රෝස වතුර අරන් දිනකට කිහිප වතාවක් ඇස් පිස දැමීම ඇස් වල නිරෝගීභාවයට හේතු වෙනවා .

රෝස පෙති වල විටමින් සී, බී, කැල්සියම්, කැරොටින්, යකඩ විශාල ප්‍රමාණයක් අඩංගු නිසා රක්තපාත පද්ධතියට ධනාත්මක බලපෑමක් ඇති කරනවා.
සමේ තුවාල සුව කිරීමට රෝස පෙති වලට ප්‍රතිබැක්ටීරීය බලපෑමක් ඇති කරන්න පුළුවන් . මල් වල කුඩු මුඛ කුහරයේ රෝග සුව කිරීමට උපකාරී වෙනවා.
රෝස වතුර කුරුලෑ, කෘමීන් දෂ්ට කිරීම් මෙන්ම අසාත්මිකතා සඳහාද හොඳයි.

රෝස මල් උණු ජලයට දමා තැම්බුන පසු පෙරා සකසා ගත් පානය අභ්‍යන්තර වශයෙන් පානය කිරීමෙන් අම්ල පිත්ත( ගැස්ට්‍රයිටිස් ), ආමාශගත තුවාල වළක්වනවා .

ඒ වගේම රෝස මල් වල සුවඳ මනස සන්සුන් හා ප්‍රසන්න කරන බැවින් රූපලාවණ්‍ය කටයුතු වලදී සම්භාන ප්‍රතිකාර වලදී ,ඇරෝමා ප්‍රතිකාර වලදී රෝස මල් හා තෙල් භාවිතා කරනවා .

කතුරුමුරුංගා මල්
නැවුම් මල් රසවත්බවින් යුතු ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම තුළ උගුර කට වන වීම වලක්වනවා මෙන්ම සිරුරේ උෂ්ණබවද නසනවා. එනිසා නි⁣රෝගීභාවයට හා රුව අලංකරණයට මෙම මල් දායක වෙනවා .

රත් මල්
රත් මල් කැකුළු තම්බා පානය කිරීමෙන් සිරුර සිසිල් කරන අතර සිරුරේ රුධිර වහන වලක්වනවා . සමේ රෝග වලදි මෙන්ම සමෙහි රෝග වලක්වා ගැනීමට රත් මල් තම්බා ඇඟ සේදීම ඉතා හොඳයි .

නෙලුම් මල්
නෙලුම් මලේ පෙති වලින් සැකසූ පාන , කෂාය සිරුරේ උෂ්ණාධිකභාවයට , රක්ත වහනය නැවතීමට භාවිතා කරනවා. හොඳ මුත්‍ර කාරකයක් . සම සුගන්ධවත් හා පැහැපත් කරනවා .
නෙලුම් මල් රේණු බටර් හෝ ගිතෙල් සමඟ ආහාරයට ගැනීමද සිරුර සිසිල් කරනවා .

නෙලුම් මල් රේණු පිරිසිදු කර ගත් මුහුණ මත අතුරා සිටීමෙන් මුහුණ පැහැපත් වෙනවා.

නාමල්
සමෙහි පැහැපත් බවට ,සුගන්ධවත් බවට , සිරුර සිසිල් කිරීමට දායක වෙනවා . නාමල් රේණු ගිතෙල් ,බටර් හෝ කිරි සමඟ පානය ආමාශ ගත තුවාල සුවයට හා උෂ්ණාධිකභාවය අඩු කරන්න දායක වෙනවා . නාමල් රේණු කබලෙ බැද කුඩුකර මී පැණියෙන් අනා ආහාරයට ගැනීමෙන් රක්ත වහන වලක්වනවා .
යටිපතුල් දාහයට නාමල් රේණු එලගිතෙලින් අඹරා ආලේප කරන්න පුළුවන් .

බෙලි මල්
බෙලි මල් පානය සිරුර සිහිල් කරනවා. සම පැහැපත් කරනවා . සිරුරේ දුගඳ නසනවා .

සේපාලිකා මල්
වියළාගත් සේපාලිකා මල් තම්බා බීමෙන් සිරුර සිසිල් කරනවා . නහර ගත රුධිර ගත මේදය ඉවත් කරන අතර දියවැඩියාව රෝගය පාලනයට දායක වෙනවා .
සේපාලිකා මල් වල තැඹිලි පාට නටු උණුවතුරට දමා හෝ සේපාලිකා මල් මද පවනේ වියළා ගෙන එම වියළි මල් පසුව පානයක් ලෙස සකසා සතියකට දෙවරක් භාවිතා කලොත් බොහෝ රෝගා වලින් වැලකී නිරෝගිබව උරුම කරගන්න පුළුවන් .

රණවරා මල්
තේ වෙනුවට පානය කල හැකියි . සම පැහැපත් කරන්නට , පිත් කෝපය නසන්නට හා රුධිරය පිරිසිදු කරන්න විශේෂ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ශරීරය සිසිල් කිරීමටත්, විඩාව දුරු කිරීමටත්, සෙම් සහ පිත් රෝග නසන්නට ,පණු රෝග වලක්වන්න, සිරුරේ ඇති වෙන දද, කුෂ්ට ආදියටත් ගුණදායකයි. දියවැඩියා රෝගීන්ට දෙන්නට පුළුවන් වටිනා බෙහෙතක්. පුරුෂයන්ට ශුක්‍රාණු වර්ධනයටත් සුදුසුයි. මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ අමතර කොටස් පිටවීම හා කාන්තාවන් ගේ ඇඟ කෙට්ටු කරවන සුදයාමේ තත්ත්ව වලටද ගුණයි .

කරාබු නැටි
කරාබුනැටි ඔබ අසා තිබෙන්නේ කුලුබඩුක් ලෙස වුවත් මුඛ දුර්ගන්ධය වලකා
දත් වල අව පැහැය දුරුකරමින්
දත් දිරායෑම /අකලට වැටීම /කුහර ඇති වීම වලකා විදුරුමස්ද ශක්තිමත් කරමින් මුව නැවුම්ව තබා ගන්න උදව් වෙනවා .
දිනපතා උදෑසන හා රාත්‍රි මුඛ සේදුම් දියරයක් සාදා භාවිතා කළ හැකියි . ඒ සදහා කරාබු නැටි තෙල් බිංදු කිහිපයක් ජලය මිලි ලීටර් 30 ක පමණ දියකර එය මුඛයේ මද වේලාවක් රඳවා තබා ගෙන සිට ඉවත් කරන්න .

දහස්පෙති මල්
දහස්පෙති මල් තම්බා දෙපා වල ගැටගැසුනු නහර ඒවායින් තැවීමෙන් ඒවා ළිහිල් වී දෙපා වලට සුවයක් සලසනවා . දහස්පෙතියා තම්බා හිසකෙස් සේදීම හරහා එය ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස කි‍්‍රයාකරනවා.

සමන්පිච්ච මල්
සමන්පිච්ච උෂ්ණාධික කම නිසා ඇසෙන් කබ කදුළුගැලීම වලක්වා ගැනීමට භාවිතා කරනවා .පිච්ච මල් තැඹිලි වතුරේ රැයක් පෙගෙන්නට තබා එම වතුරෙන් ඇස් සේදීම වඩාත් යෝග්‍යයි . ඇසේ රත නැති වීමට , ඇස් වල ප්‍රබෝදමත් බවට හිතයි.
සමන්පිච්ච මල් වලින් ලබා ගන්නා තෙල් ද ඇරෝමා ප්‍රතිකාර වලදී , රුව වඩවන ප්‍රතිකාර වලදී භාවිතා වෙනවා .

අශෝක මල්
අශෝක මල් හා නාමල් රේණු ඇගෙහි ගෑමෙන් සම සුගන්ධවත් ⁣වෙනවා.

ඔබ මෙතෙක් අධික වියදමක් දරා ඔබේ රුව ඔප්නංවාගැනීමට යොමු වී සිටියා නම් ඔන්න දැන් සරලවම ස්වභාවිකවම රුව මෙන්ම නිරෝගීභාවය යන දෙකම ස්වභාවික සත්කාර වලින් සදාකාලිකව රඳවා ගන්න හැකි වේවි .

කේෂාණි සෙනවිරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version