මුල් පිටුව උණුසුම් පුවත් ‘කොස්ගස් හන්දියෙ කොලු ගැටයා’ දිවියට සමුදෙයි

‘කොස්ගස් හන්දියෙ කොලු ගැටයා’ දිවියට සමුදෙයි

0

සරසවිය හා සරසි පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී රංජිත් කුමාර මහතා අද (10) අභාවප්‍රාප්ත විය.

දශක 7ට වැඩි කාලයක් පුරා කලාව හා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යයේ කටයුතු කළ ඒ මහතා මියයන විට 77වන වියේ පසුවිය.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා කොළඹ කේරි විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදිශිෂ්‍යයෙකු වේ.

ඒ මහතා කොස්ගස් හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයත් හෙබවූ ඒ මහතා, රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමිකරගෙන තිබේ.

සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥයෙක් ලෙස ද හැඳින්විය හැකි ඒ මහතා, ප්‍රවීණ ගායිකාවක වන දමයන්ති ජයසූරිය මහත්මිය සමඟ විවාහව සිටියේ ය.

ඒ.ඩී. රංජිත් කුමාර මහතාගේ එක් පුතකු වන්නේ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතාය. ඔහු සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘධූරය දරයි.

2017 වසරේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානය ද ඒ.ඩී .රංජිත් කුමාර මහතාට හිමිවිය.

අභාවප්‍රාප්ත ඒ.ඩී රංජිත් කුමාර මහතාගේ දේහය ඔහුගේ අවසන් ඉල්ලීම පරිදි (11) දා කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දෙනු ඇත.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version