මුල් පිටුව උණුසුම් පුවත් රුසියා හමුදාවට ගිය අපේ 6ක් මියගිහින් -25කට තුවාලයි

රුසියා හමුදාවට ගිය අපේ 6ක් මියගිහින් -25කට තුවාලයි

0

කුලී හේවායන් ලෙස රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලංකිකයන් 06 කට වැඩි පිරිසක් මෙම වසර තුළ පමණක් මියගොස් ඇති බවත් 25 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා මේ වන විට රෝහල්ගතව සිටින බවත් යුක්රේන් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී පළාවිත් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය ඇතිව මෙරටට පැමිණ සිටින යුද හමුදාවේ හිටපු සාමාජිකයෙකු හෙළිකරයි.

මෙම විශ්‍රාමික හමුදා සාමාජිකයා දකුණු පළාතේ සාමාජිකයෙකි. ඔහු ඇතුළු 09 දෙනෙකුගේ කණ්ඩායමක් පසුගිය වසරේ දෙසැම්බර් රුසියාව බලා ජාවාරම්කරුවන් විසින් රැගෙන ගොස් ඇත්තේ ඉහළ වැටුප් සමඟ රුසියාවේ පුරවැසිභාවය පවා හිමිවන බව සඳහන් කරමිනි.

කුළි හේවායන් ලෙස රුසියානු හමුදාවට තමන්ව හොර රහසේ ජාවාරම්කරුවන් පිරිසක් විසින් අලෙවිකර ඇති බව අනාවරණය වී ඇත්තේ එහි ගිය පසුව බව පළාවිත් සිටින සෙබලා සඳහන් කරයි. මේ ගැන ඔහු බලධාරීන් දැනුවත්කර ඇත.

තමා සමඟ රුසියාවට ගිය 09 දෙනාම යුධ බිමේ ඉදිරි ආරක්ෂක වලල්ලට දැමූ බවත් ජනවාරි මාසයේදී තමා යුක්රේන් සීමාවේදී යුක්රේනය විසින් එල්ලකල ප්‍රහාරයකින් තුවාල තැබූ බවත් ඔහු පවසයි. මාස තුනක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තමාගේ තුවාල වේලෙන්නටත් මත්තෙන් නැවත යුධ බිමට රැගෙන යාමට ඔවුන් සූදානම් වූ බවත් එම අවස්ථාවේදී රෝහලින් පැන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිට පැතූ බවත් ඔහු පවසයි. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත තමාට ගැටළුවක් නොමැතිව මෙරටට පැමිණිමට හැකිවූ බවද ඔහු පවසයි.

තමා සමඟ රුසියාවට ගිව 09 දෙනාගෙන් 05 දෙනෙක්ම යුක්රේන් ප්‍රහාරවලින් තුවාල ලබා සිටින බව ඔහු කියයි. තමන් ගැන සොයා බැලීමටවත් කිසිවෙක් නොමැති බවත් රුසියානු හමුදා ප්‍රධානීන්ගෙන් මේ ගැන ඇසූ විට පවසා ඇත්තේ කොන්ත්‍රාත්තුවකට අනුව කුළි හේවායන් ලෙස තමන් හමුදාවට බැදී ඇති බව යැයිද ඔහු කියයි. මේ ගැන සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙරටින් මෙම පිරිස රුසියාවට රැගෙන ගිය ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30ක මුදලට තමන්ව රුසියානු හමුදාවට අලෙවිකර ඇති බව යැයිද ඔහු පවසයි

“නේපාල, ඉන්දිය‍ාව, පකිස්තානය, කියුබාව වගේ රටවල අයත් රුසියානු හමුදාවේ ඉන්නවා. රුසියානු හමුදාවට කුළි හේවායන් ලෙස එක්කිරීමේදී ලැබෙන මුදල ලැබිල තියෙන්නේ ඒ අයටමයි. අපිය රුසියාවට අරගෙන ගිය අය කරල තියෙන්නේ අපිව විකුණල ඒ මුදල් ඔවුන් තියාගෙන. අපි හතර අතේ ණය වෙලයි ගියේ . අන්තිමට ජීවිතේත් නැති වෙන තැනනට පත්වුනා. පොලීකාරයෝ ගෙවල්වලට එනවා සල්ලි ඉල්ලගෙන“ යැයිද එම හමුදා සෙබලා සඳහන් කළේය.

මෙම පිරිස රුසියාවට රැගෙන ගොස් ඇත්තේද මහනුවර කේන්ද්‍රකරගෙන ටෙලි නිලියන් තිදෙනෙක් යොදාගෙන ක්‍රියාත්මක වූ ඒජන්සියේ හිමිකරු වන චතුරංග නැමැත්තා බව හෙළිවී තිබේ. මේ වන විට රටින් පළාගොස් රුසියාවේ සිටින බව කියැවුණත් ඔහු රුසියාවේද නොමැති බව හෙළිවී තිබේ.

මෙම ජවාරම මෙහෙයවන්නන් අතර රුසියාවේ රැදී සිටින රමේෂ් නැමැති ඉන්දියානු ජාතික වෛද්‍යවරයෙක්ද සිටින බව අනාවරණය වී ඇත.

මෙම ඡාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version