මුල් පිටුව උණුසුම් පුවත් උසස්වීම් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු උසාවි යති

උසස්වීම් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු උසාවි යති

0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ට 2021 වසරේදී සහකාර පොලිස් පරීක්ෂක තනතුරු සඳහා උසස් වීම් ලබා දීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝන වීමක් සිදුවී තිබේද යන්න පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීරණය කළේය .

සියලු සුදුසුකම් සපුරා තිබියදී තමන් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් නොකළ බවට පැමිණිලි කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නමයක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළ සුදුසුකම් සපුරා තිබියදීත් තමන් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබුණි.

ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා ,ජාතික පොලිස් කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරි ධුර 230 ක් පමණ මේ වන විට පුරපාඩුව පවතින බවය.

එම පුරප්පාඩු පිරවීමට අධිකරණය විසින් දෙනු ලබන නියෝග මත කටයුතු කිරීමට වගඋත්තර කරුවන් පියවර ගන්නා බව ඔහු සඳහන් කර සිටියේය. ඒ අනුව මෙම පෙත්සම් විභාග අවසර දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් හෝ නීතිපතිවරයාගේ විශේෂ මැදිහත් වීමක් නොමැති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ ය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ පෙත්සම්කරුවන් සහකාර පොලිස් අධිකාරී තනතුරු සඳහා උසස් වීම් ලැබීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබියදීත් ඔවුන් එම තනතුරට උසස් නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවය.

නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම උසස් වීම් ලබාදීමේදී බැලූ බැල්මට මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවිය හැකිය යන පදනම් මත මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මෙම පෙත්සම් විභාගය ජූලි මස 10,11 දිනවල සිදු කිරීමට නියම කෙරිණ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version